සතර සතිපට්ඨානය තුළ අසුභ භාවනාව

  • Sharebar

5.1. අසුභ භාවනාව වඩන හැටි

දැන් ඔබ ටිකෙන් ටික ජීවිතයට වුවමනා කරන මූලික දේවල් ලබා ගන්නවා. ඒ තමයි සිහිය දියුණු කරන ආකාරය, වීරිය දියුණු කරන ආකාරය, නුවණ දියුණු කරන ආකාරය. මේ ලබාගන්නේ ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින්. එහෙමනම් මා ඔබට කියා දෙන්නේ මා සොයාගත් දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ සොයාගත්තු දෙයක්. එතකොට මම බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයෙක් හැටියට ඉඳගෙනයි ඔබට කියාදෙන්නෙ. එහෙම නම් මේ ධර්මයේ ගෞරවය සම්පූර්ණයෙන්ම හිමි වන්නේ බුදුරජාණන් වහන්සේටයි.

ධාන්‍ය ගොඩෙන් ගත් ධාන්‍ය ටික….

දවසක් උත්තර කියන රහතන් වහන්සේගෙන් කෙනෙක් ඇවිල්ල ඇහුවා, “ඔබවහන්සේ ලස්සනට ධර්මය දේශනා කරනවා, මේ ධර්මය ඔබවහන්සේ තුළ ඇතිවෙච්ච එකක්ද? එහෙම නැත්නම් ඔබවහන්සේ කාගෙන්වත් අහලද මේවා කියන්නේ?” කියල. ඉතින් උත්තර කියන රහතන් වහන්සේ ප‍්‍රකාශ කළා, “පින්වත, මේ ලෝකයේ සුභාෂිත වූ යමක් ඇද්ද, සියල්ල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ වචන. අප කරන්නේ ඒවා උපුටා දක්වල කතාබස් කරන එකයි.” ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන්න උපමාවක් කිව්වා, “ධාන්‍ය ගොඩක් තියෙනවා. මේ ධාන්‍ය ගොඩෙන් ඕනෙ කෙනෙකුට ඕනෙ ප‍්‍රමාණයක් අරගෙන යන්න පුළුවන්. ඉතින් එක එක්කෙනා තම තමන්ගේ භාජනවල ප‍්‍රමාණයට ඒ ධාන්‍ය අරගෙන යනවා. ඒ වගේ තමයි තම තමන්ගේ හැකියාව මත, දක්ෂතාවය මත ඒ ධර්මය ඉගෙන ගන්නවා.

ගිහි අයට අසුභය අකැපද?

ඉතින් ඒ වගේ තමයි මේ වෙලාවේ මේ ඉගෙන ගන්න ධර්මය ඔබේ හැකියාව මත තමයි මේ ධර්මය අල්ලගන්නෙ. දැන් අපි ඔබට උගන්වන්නෙ සමහර විට ඔබ අකමැති එකක්. මේකට කියන්නෙ ‘අසුභ භාවනාව’ කියල. ඔබ අකමැති වුණාට කරන්න දෙයක් නෑ. ඔබ මේ ගැන පොඞ්ඩක් හිතුවොත් ඔබට ලොකු දියුණුවක් ලබා ගන්න පුළුවන්. අසුභ භාවනාව කරන්න ඉස්සෙල්ල අසුභ භාවනාව ගැන ආකල්ප ටිකක් තියෙනවා මේ රටේ. ඒවා තමයි මේ “අසුභ භාවනාව කළ යුතු නෑ. ගිහි අය කළ යුතු නෑ. ගිහි අය ඒ විදිහට කල්පනා කළ යුතු නෑ. අසුභ භාවනාව ගිහි අයට අදාල නෑ. ඒකෙන් ගිහි ජීවිතය කඩාකප්පල් වෙනවා” කියල කියනවා. මේක සත්‍යයක් නම්, ඔබ චුට්ටක් හිතල බලන්න වෛද්‍යවරු, හෙද හෙදියන් කොයිතරම් මේ රෝගීන් අතපත ගානවද? කොයිතරම් අසුභ දර්ශන දකින්න ලැබෙනවද? ඒ වගේ ම කොයි තරම් ජීවමාන මිනිස්සුන්ගේ අත පය කපල, කොයි තරම් අසුභ කොටස් දකිනවද? ඊළඟට මිනී කපන මිනිස්සු කොච්චර මේවා දකිනවද? එහෙම නම් ඒ සියලු දෙනාගේ ජීවිත කඩාකප්පල් විය යුතුයි. එහෙමනම් ඒ සියලු දෙනාගේ ජීවිත අසාර්ථක විය යුතුයි. ඒක නෙමෙයි හේතුව. කාමයට වසඟ වූ සිත් ඇති, කාමයෙන් උන්මාදයට පත්වෙච්ච උදවිය අසුභ කියන වචනයට තරහයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ද්වේශ කරනවා. (ධම්මදෙස්සී පරාභවෝ) ධර්මයට ද්වේශ කරන කෙනා තමයි පිරිහෙන්නේ. කවදාවත් ධර්මයට කැමති කෙනා පිරිහෙන්නේ නෑ. (ධම්මකාමෝ භවං හෝති)

අසුභ භාවනාවට ප‍්‍රවේශ වෙන්නේ මෙහෙමයි

මේ නිසා අසුභ භාවනාවෙදිත් එක එක්කෙනා එක එක දේවල් කියයි. ඒක නෙමෙයි වැදගත් වෙන්නෙ, ඔබ මේ ජීවිතයේ තියෙන ඇත්ත දකින්න, ඇත්ත අවබෝධ කරන්න සූදානම් ද කියන එකයි. හැබැයි මේකෙදි මේ භාවනාවට ප‍්‍රවේශ වෙන්න ඔබ මේ පිළිබඳව යම්කිසි දැනුමක් ලබාගන්න ඕනෙ. දැන් අසුභ භාවනාව කියන්නේ කුණප කොටස් ගැන ඒ විදිහටම බැලීම. උදාහරණයක් විදිහට අපි ගනිමු කොණ්ඩෙ. දැන් කොණ්ඩෙ දිග කෙනෙක් ඉන්නවා. මෙයා මේ කොණ්ඩෙට ආදරෙයි. මෙයා මොකද කරන්නේ, මේ කොණ්ඩෙ අතට අරගෙන අතගානවා. කොණ්ඩෙ පීරනකොට කෙස් ගහක් ගැලවිලා ආවොත්, ඒ කෙස් ගහ ගලෝල එයා අරන් තියනවා. අපි ගමු නියපොතු. නියපොතුවලට කෙනෙක් කැමතියි. නියපොත්ත වැවෙන්න ඇරල ලස්සනට නියපොත්ත කපනව හැඬේට. නියපොත්තට පාට ගානවා. ගාල එයා සතුටක් ලබනවා. අපි ගමු දත්. දත් නිරන්තරයෙන්ම මැදල මැදල, දත් පිරිසිදු කරල, එයා කණ්ණාඩිය ළඟට ගිහිල්ල හිනාවෙලා, දත් දිහා බලල සතුටක් ලබනවා. අපි ගමු සම. එයා හමේ සුන්දරත්වය දිහා බල බල සතුටක් ලබනවා. එබඳු ජීවිතයක් ගෙවන කෙනෙකුට මේ කුණප කොටස් බලනව කිව්වම ඒක අමුතු එකක් තමයි.

හැමදාම ලස්සනට ඉන්නට පුළුවන්ද?

නමුත් අපට අදාල වෙන්නෙ ඒක නෙවෙයි. බුදුරජාණන් වහන්සේ මක් නිසාද මේක වදාළේ කියන එක. බුදුරජාණන් වහන්සේ මේ ධර්මය වදාළේ අපි පැටලිච්ච තැනක් මේක. අපට හැමදාම ලස්සන කොණ්ඩයක් තියා ගන්න පුළුවන් නම්, අපට හැමදාම ලස්සන නියපොතු තියාගන්න පුළුවන් නම්, අපට හැමදාම පුළුවන් නම් ලස්සනට මේ ජීවිතය පවත්වන්න ප‍්‍රශ්නයක් නෑ. නමුත් පින්වතුනි, අපි ජරා ජීර්ණ වෙන කාලයක් එනවා. අන්න එතකොට මේ ජීවිතය පිළිබඳ අවබෝධය අවශ්‍යයි. ඒ අවබෝධය මේ දැන් අපි මේ ජීවිතය තුළ ලබාගෙන තියෙන්නට ඕනෙ. මේ නිසා අසුභ භාවනාවෙදි අන්න ඒක උපකාර වෙනවා.

කුකුල් පිහාටුව පිච්චුවා වගේ

බුදුරජාණන් වහන්සේ වදාළා, නියම විදිහට අසුභ භාවනාව වැඩුවා නම්, කුකුල් පිහාටුව පිච්චුවා වගේ කියල. දැන් කුකුල් පිහාටුවක් අරගෙන ඉටිපන්දමකට ඇල්ලුවොත්, ඒ කුකුල් පිහාටුව ඇකිලිල ඇකිලිල පිච්චිලා යනවා. ඊට පස්සේ ඒක දිගඅරින්න බෑ පරණ විදිහට. බුදුරජාණන් වහන්සේ වදාළා, අසුභ භාවනාව නියම විදිහට වැඩුවොත්, එයා සම්පුර්ණයෙන්ම නිෂ්කාමී හිතක් ඇති කරගන්නවා. එහෙම නැත්නම් එයා හොඳ උපේක්ෂාවක් දියුණු කරගන්නවා.

සුභ සඤ්ඤාවෙන් අසුභය වැඩුවොත්

සමාධියක් වඩන්න ගොඩක් ප‍්‍රයෝජනවත් වෙන එකක්. ඒ නිසා අසුභ භාවනාවෙදිත් ඒ ගැන හොඳ කල්පනාවෙන් සිටින්නට ඕනෙ, ඒක අවශ්‍ය දෙයක් කියල. හැබැයි අසුභ භාවනාව වඩාගෙන යද්දි ඔබට අප්පිරියාවක් ඇතිවුණොත්, ඇත්තෙන්ම ඔබ අසුභය වඩල නෑ. ඔබ වඩල තියෙන්නෙ සුභ සඤ්ඤාවක්මයි. ඒ නිසා අසුභයේදී ඔබට කරන්න තියෙන්නේ මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්නුවා. ඔන්න ධාන්‍ය තියෙන මල්ලක් පෙන්නුවා. එක එක ධාන්‍ය තියෙන මල්ලක් තියෙනවා දෙපැත්ත කට තියෙන. ඉතින් මේ මල්ල අරගෙන ඇස් පේන එක්කෙනෙක් මොකද කරන්නේ, මේ ධාන්‍ය මල්ල ලෙහනව. ලෙහල මේ ධාන්‍ය ටික සේරම හලල, ගොඩගහනව මේවා හාල්, මේවා කඩල, මේවා මෑ, මේවා මුං ඇට, මේවා කව්පි ආදී වශයෙන් ගොඩගහනවා. මෙන්න මේ විදිහට යටි පතුලෙන් උඩ, කෙස් රොදෙන් යට, හමකින් ආවරණය වෙච්ච නොයෙක් ආකාරයේ කුණප කොටස් පිරිච්ච මේ කය දිහා අර ධාන්‍ය මල්ල ලෙහල වෙන් කර කර බලනවා වගේ අන්න නුවණැති කෙනා බලන්න පටන් ගන්නවා.

කයේ තියෙන ඇත්ත ගැනම පවතීවා නිතර සිහිය

බලන්නෙ කොහොමද? එයා නිශ්ශබ්දව, ශාන්ත තැනකට වෙලා හිතනවා මේ කයේ තියෙනවා කෙස් කුණප කොටසක්. මේ කයේ තියෙනවා ලොම්. එයා වෙන් වශයෙන් බලන්නෙ. එකට නෙවෙයි. ඊළඟට එයා බලනවා මේ කයේ තියෙනව නියපොතු. මේ කයේ තියෙනවා දත්. මේ කයේ තියෙනවා සම. මේ කයේ තියෙනවා මස්. මේ කයේ තියෙනවා නහර වැල්. මේ කයේ තියෙනවා ඇට. මේ කයේ තියෙනවා ඇට මිදුළු. මේ කයේ තියෙනවා වකුගඩු. මේ කයේ තියෙනවා හදවත. මේ කයේ තියෙනවා දලඹුව. මේ කයේ තියෙනවා පෙණහළු. මේ කයේ තියෙනවා අක්මාව. මේ කයේ තියෙනවා කුඩා බඩවැල්. මේ කයේ තියෙනවා මහා බඩවැල. මේ කයේ තියෙනවා අසුචි. ඔන්න ඔය විදිහට තමන්ගේ ශරීරයේ කොටස් බලනව.

එහෙම තවත් කොටස් බලනවා. මේ කයේ තියෙනව පිත. ඒ වගේම මේ ශරීරයේ තියෙනවා සෙම. මේ ශරීරයේ හටගන්නවා සැරව. මේ කයේ තියෙනවා ලේ. මේ කයේ තියෙනව දහඩිය. මේ ශරීරයේ දහඩියත් එක්කම ගලන ගතියක් තියෙනවා (තෙල් ගතියක් තියෙනවා) ඒකට කියන්නෙ තෙල්මන්ද. මේ කයේ තියෙනවා කඳුළු. මේ කයේ තියෙනවා වුරුණු තෙල්. ඒ වගේම මේ කයේ තියෙනවා කෙළ. ඒ වගේම මේ කයේ තියෙනවා සොටු. ඒ වගේම මේ කයේ තියෙනවා සඳමිදුළු. මේ කයේ තියෙනවා මුත‍්‍ර. මේවා සම්පූර්ණයෙන්ම වෙන් කර කර වෙන් කර කර බලනවා. බලන්නෙ කොයි විදිහටද? දෙපැත්තෙ කට තියෙන ධාන්‍ය මල්ලක් ලෙහල බලනවා වගේ.

ජීවිතය සුන්දර කරගන්න නම් අසුභය වඩන්න

දැන් ඔබට තේරුම් ගන්න පුළුවනි මේකෙන්, බුදුරජාණන් වහන්සේ නිකෙලෙස් භාවයට පත්වුණේ කොයි විදිහට ජීවිතය දිහා බලල ද කියල. අන්න එහෙම නම් ඔබටත් ඔබේ ජීවිතයේ නිදහස් භාවයක් ඇති බව අත්දකින්නට නම්, ජීවිතය බලන විදිහ තමයි ඒක. මොකද ජීවිතයේ සුන්දරත්වයට පත්වෙන්නෙ බැඳීමකින් නෙවෙයි. බැඳීම් වලින් නිදහස් වීමෙන්මයි ජීවිතය සුන්දරත්වයට පත්වෙන්නේ. එහෙම නම් ජීවිතය සුන්දරත්වයට පත්වෙන්න උපකාරවන ධර්මයක් තමයි මේ කුණප කොටස් බලන එක. ඉතින් මේ විදිහට කුණප කොටස් බැලීමේදී ඔබ තනිකරම මනසින් මවාගෙන මේක කරන්නෙ. මනසින් මවාගත්ත කියල ඔබේ ජීවිතය කඩාකප්පල් වෙන්නෙ නෑ. එහෙනම් ඔබේ ජීවිතයේ ඔබ වැසිකිලි ගිය වෙලාවට, ඔබ කැසිකිලි ගිය වෙලාවට, ඔබ මළපහකරපු වෙලාවට, ඔබේ ජීවිතය කඩාකප්පල් වෙන්න ඕනෙ. ඔබේ ජීවිතය එහෙම කඩාකප්පල් වෙන්නෙ නෑ.

ආනාපානසතියට පෙර

හැමදේකම තියෙන ස්වාභාවික දේ මේ ශරීරය තුළත් තියෙනවා කියල ඔබ අවබෝධ කරගන්නවා. ඔබ දැකගන්නවා. ඔබ තේරුම් ගන්නවා. ඒ නිසා මේක ඔබ මනාකොට තේරුම් ගන්නට ඕනෙ. ඒ නිසා අසුභ භාවනාව ටිකෙන් ටික ඔබේ ජීවිතයට පුරුදු කරගන්න. පුරුදු කරල, සාමාන්‍යයෙන් භාවනාව වැඩෙන්නෙ නැති කෙනෙකුට වුනත්, අසුභ භාවනාව කිරීම තුළ ආනාපානසතිය කරන්න සුදුසුකම් ලැබෙනවා. ආනාපානසතිය සියලු දෙනාටම කරන්න කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරල නෑ. සමහර අය ඉන්නවා ස්වාභාවිකවම හොඳට සිහිය පිහිටන අය. අන්න ඒ කෙනා ආනාපානසතිය කරන්නට ඕනෙ. එහෙම නැත්නම් ඒකට ප‍්‍රවේශ වෙන්නට ඉස්සෙල්ල වුණත් අසුභ භාවනාව බොහොම හොඳයි. අඩුගානෙ විනාඩි විස්සක් තිහක් කෙනෙකුට කරන්න පුළුවන් නම්, එයාට ජීවිතයේ ලොකු දියුණුවක් ලබාගන්නට පුළුවන්.

- අසුභ භාවනාව -

සතර මහභූතයන්ගෙන් හටගත් මේ කයෙහි ඇත්තේ, කළු පැහැයෙන් යුතු වූ පුළුටු ගඳින් යුතු වූ දිරා යන සුළු වූ කෙස් ය.

නිරතුරුවම ඩහදිය හා කුණු සමග තැවරී තිබෙන ලොම් ය.

දිරා යන ස්වභාවයෙන් යුතු නියපොතු ය.

කුහර හටගැනීමෙන් කුණු වන්නා වූ නිරතුරුවම දුර්ගන්ධය හමන්නා වූ, මැලියම් තැවරී ගිය දත් ය.

කලකදී පතුරු ගැලවී යන්නා වූ හොරි දැමීම, බිබිලි දැමීම, අළුහම්, දද, වණ, කුෂ්ට ආදිය හටගන්නා වූ සම ය.

තුවාල වූ විට කුණු වී සැරව පිරෙන්නා වූ වහා පණුවන් හටගන්නා වූ මස්වැදලි ය.

නොයෙක් ප‍්‍රමාණයෙන් යුතු වැල් පුරුක් ලෙසින් සිරුරේ මස් අතර වැදී සිටින නහරවැල් ය.

හිස් කබල, ගෙල ඇට, උරහිස් ඇට, ඇඟිලි ඇට, පපු ඇට, ඉලඇට, කොඳු ඇට, කලවා ඇට, දණහිස් ඇට, පා ඇට, පා ඇඟිලි ඇට, ආදී වශයෙන් නහරවැලින් සහ මසින් වෙලා ගත් ඇට සැකිල්ල ය.

ඇට ඇතුලේ පවතින ජල්ලි වැනි වූ වහා කුණු වී යන ඇට ලොඳ ය.

අඹ ගැට දෙකක හැඩය ගත්තා වූ ලේ ධාතුවට එක්වන ජලය පෙරා මුත‍්‍ර බවට පත් කරවන නොයෙකුත් ලෙඩ රෝගයන්ගෙන් නරක්වන වකුගඩු ය.

ලේ ධාතුව සිරුරේ පැතිරවීමේ මූලික ස්ථානය වන පිළී ගඳ හමන ලෙය අඩපතක් පමණ රැඳී ඇති මස් ගොබය වන හෘදමාංශය ය.

පිළී ගඳ හමන ලොකු ලේ කුට්ටියක් වැනි වූ කුණු වී යන්නා වූ කැවුතු මස නම් වු අක්මාව ය.

කහපාටින් යුතු පිත වගුරුවන්නා වූ පිත්තාශය ය.

කුණු වී යන මස් වැදැල්ලක් වැනි වූ බඩදිව ය.

දසත විහිදී ගිය කුඩා නාලිකා වලින් සැදුණු ලොකු වැටකොළු දෙකක් වැනි වූ, හුස්ම ඉහළට ගත් විට පිම්බෙන්නා වූ හුස්ම පහළට හෙලු විට හැකිළෙන්නා වූ ලෙයින්, මසින් වැකුණු පෙණහළු ය.

හම ගැසූ ගැරඬියෙකු ලේ ඔරුවක දරණලා සිටින්නාක් වැනි වු කුස තුළ තෙරපී දරණලා තිබෙන පණුවන් ගෙන් ගැවසුණු කුඩා බඩවැල ය.

වැළඳූ ආහාර අසූචි බවට පත්වෙමින් නලයක් දිගේ ඇදෙන්නාක් මෙන් එකතු වෙමින් ඇදී යන අසූචියෙන් පිරුණු මහබඩවැල ය.

සපා කෙළ සමඟ මිශ‍්‍ර වී ගිය ආහාරය බලු වමනයක් පිර වූ මල්ලක් සේ පවතින බොක්ක නම් වූ ආමාශය ය.

වැළඳූ ආහාරය දිරවායාමෙන් කුණු වූ මැටි පිඬක් සේ අධික දුර්ගන්ධය හමන්නා වූ අසූචි ය.

හිස් කබල ඇතුලේ දඟරගැසී පවතින ලේ තැවරුණ කුරුම්බා ලොඳ වැනි මොළය ය.

දුගඳ හමන්නා වූ කහපාටින් යුතු දියරය වන පිත ය.

සතුන් දැමු වමනයක් සේ දුගඳ හමන පෙණ ගොඩින් යුතු සෙවළ ගතියෙන් වැගිරෙන සෙම ය.

ලේ ධාතුව කුණු වීමෙන් පසු වහා පණුවන් හටගන්නා වූ කහපාට දියරයක් වැනි සැරව ය.

පිළී ගඳ හමන්නා වූ රක්ත වර්ණයෙන් යුතු දියර වන ලේ ය.

ලූණු වතුරක් වැනි වු මහත් දුර්ගන්ධයෙන් යුතු වූ සිරුර පුරාම වැගිරෙන දියරය වන ඩහදිය ය.

සමටත් මසටත් අතර පවතින තෙල් තට්ටුව වන තෙල් මන්ද ය.

දෑස් ගොබළු මතින් වැගිරෙන්නා වූ පිළිකුල් උපදවන ලූණු වතුරක් වැනි කඳුළු ය.

ඩහදිය සමඟ එක්ව මේදය තුළින් තෙල් ගතියෙන් මතුවන වුරුණු තෙල ය.

මුඛයේ දෙකොපුල් අතරින් වැගිරෙන්නා වූ දුඟඳ හමන, සෙවළ ගතියෙන් යුතු පෙණ සහිත වූ කෙළ ය.

කහපාටින් යුතු වූ ඇලෙන සුළු වූ දුඟඳ හමන්නා වූ නාසයෙන් වැගිරෙන්නා වූ සොටු ය.

ඇට සන්ධි අතර තැවරී ඇත්තා වූ සෙවළ සහිත දියරය වන සඳ මිඳුළු ය.

අපවිත‍්‍ර දියරයක් වශයෙන් සිරුරෙන් බැහැර වන අධික දුර්ගන්ධයෙන් යුතු දියරය වන මුත‍්‍ර ය.

ඉතින් මේ ආකාරයේ දෙයක් මේ ශරීරයේ තියෙනවා කියල හොඳට විමසලා බලන්න අන්න එහෙම බලන කොට තමයි මේකෙ ඇත්ත පේන්නෙ. එතකොට මේ හිතේ තියෙන මේ බැඳීම ටිකෙන් ටික මධ්‍යස්ථ වෙනවා.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සදහම් වැඩසටහන් වලදී පවත්වන ලද ධර්ම දේශනා ඇසුරෙන් සකස් කළ ‘සිතට සුව දෙන භාවනා’ සදහම් ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී