ලොව සසල කළ දළදා මාලිගාවට එල්ල කළ කොටි ප්‍රහාරයට අදට වසර 20 යි

  • Sharebar

 

ලොව සසල කළ දළදා මාලිගාවට එල්ල කළ කොටි ප්‍රහාරයට අදට වසර 20 යි

 

ශ්‍රී ලංකාවාසී බෞද්ධ හදවත් පමණක්‌ නොව දෙස්‌ විදෙස්‌ විවිධ ජාතීන්, ආගම් බේදයකින් තොරව සසල වූ දිනය ඔබට අමතක විය නොහැක.

බෞද්ධයාගේ මුදුන්මල්කඩ බඳු බොදු හදවතට ප්‍රහාර එල්ල වූ ඒ දිනය අමතක විය නොහැක.

වර්ෂ 1998 ජනවාරි මස 25 වැනිදා එවකට මෙරට අස්‌සක්‌ මුල්ලක්‌ නෑර පැතිර තිබුණු කොටි ත්‍රස්‌ත භීතිය සෙංකඩගල පුරවරයට ද අඩුවක්‌ නොමැතිව පැතිර තිබිණි.

එහි හද කකියන පුවත නම් බෞද්ධයාගේ විශේෂිතම පාදනමස්‌කාරයට පාත්‍ර වන ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩසිටිනා මහනුවර ශ්‍රී දළදා මාලිගයට ද පෙර කී ජනවාරි 25 වැනි දින කොටි ත්‍රස්‌තවාදීන් සිත්පිත් නැති කුරිරු හදවතින් බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල කිරීමය.

යුනෙස්‌කෝ සංවිධානය විසින් 1984 වසරේ ශ්‍රී දළදා මාලිගය ලෝක උරුමයක්‌ ලෙස නම් කිරීමත් සමඟ මෙහි අවධානය ලෝක ප්‍රජාවගේ වැදගත් ස්‌ථානයක්‌ විය.

කොටි බෝම්බ ප්‍රහාරයෙන් ශ්‍රී දළදා මාලිගයේ ප්‍රධාන දොරටුවට හා ගොඩනැඟිල්ලේ ඇතැම් ස්‌ථානවලට පමණක්‌ හානි සිදුවිය. මෙම ප්‍රහාරය ලෝක බෞද්ධ ජනතාවගේ අනන්‍යතාවයට හා බෞද්ධ උරුමයට කළ විශාල පහර ගැසීමකි. විශාල හානියකි. ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩහිඳිනා ස්‌ථානයට කිසිදු හානියක්‌ කිරීමට තරම් රුදුරු කොටියාට නොහැකි වූයේ දළදා වහන්සේගේ බල මහිමය නිසාම වේ.