ලාංකේය රාජධානි වංශකතාවේ බලය හා විමුක්තියේ සංඝට්ටනයෙන් ජනිත වූ යාපහුව

  • Sharebar

මහව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පිහිටි යාපහුව පුරාවිද්‍යාත්මක ස්ථානය ඓතහාසික වශයෙන් සුවිශේෂීත්වයක් උසුලයි. ක්‍රි.පූ. 3 වන සියවසේ දෙවන පෑතිස් රාජ්‍ය අවධියේ දි යාපහුව "සුන්දර ගිරි පව්ව" යන නම බෝධිවංශයේ සඳහන් වේ. යාපහුව සුභ නම් සෙ‍නෙවියා විසින් ආරක්ෂාව පිණිස බලකොටුවක් ගොඩනගා ගැනීම සිදු වූ පසු සුභවාල, සුභගිරිපුර යන නමින් හඳුන්වා ඇත. දළදා පූජාවලියේ "අයෝපර්වත" යන නමින් යාපහුව හඳුන්වා ඇත.
එදා දකුණු ඉන්දීය ආක්‍රමණිකයන්ගෙන් රටත්, දළදා වහන්සේත් ආරක්ෂා කරගැනීමේ තිර අදිටනින් මෙකී බලකොටු රාජධානිය බිහිවූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. මෙම රාජධානියේ විශේෂත්වයක් වන්නේ එහි රාජ්‍යය කර ඇත්තේ එක් රජතුමකු වීමයි. ඒ පළමුවන බුවනෙකබාහු රජතුමාය.
යාපහුවේ පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත්කමක් සහිත සාධක බොහොමයක් අදටත් ශේෂව පවතී. පර්වතයේ දකුණු පැත්තෙහි බටහිර කොනකින් ආරම්භ වන පවුර හා දිය අගල අශ්වලාඩමක හැඩයක් ගනිමින් අනෙක් පසින් පර්වතය හා සම්බන්ධ වේ. පිට නගරයේ වැදගත් ගොඩනැගිලි නොමැත. උළු හා මැටි බඳුන් අවශේෂ, ගඩොල් ආදියපිට නගරය ආශ්‍රිත ප්‍රදේශය පුරා විසිරී පවතී. පිට ප්‍රාකාරය මීටර් 4ක් පමණ වන අතර, පළල මිටර් 22ක් පමණ වේ. මෙය මත ඇති චතුරස්‍රාකාර කුටි, මුර කුටි වශයෙන් පවතින්නට ඇත.
පවුරකින් හා දිය අගලකින් වට වූ ඇතුල් නුවර, සැලසුම් සහගත අයුරින් සකස් කර ඇත. ප්‍රාකාරයේ මුහුණත්ද්වයට ගල් පුවරු බැඳ, එහි මධ්‍යයට සක්කා ගල් පිරවීමෙන් සකස් කොට ඇත. ඇතුල් නගරයේ එක් රැස්වන ජලය දිය අගල කරා බැස්සවිමට ඉවහල් වූ ගලින් තැනූ සොරොව් දෙකක් දක්නට ලැබේ.
පියගැට පෙළෙහි ආරම්භක පියගැට අසල ඇති සතරැස් ගොඩනැගිලි පාදම, සභා ශාලාව යන නමින් හැඳින් වුව ද ඒ බවට සාධක නැත. මෙම ගොඩනැගිල්ලට පිවිසීමට පඩිපෙල් තුනක් සම්බන්ධ කොට ඇත. ගොඩනැගිල්ල අභ්‍යන්තරයේ බිත්ති කෙළවරට වන්න‍ට ගල් කුළුණු පිහිටා ඇති අතර, මධ්‍යයට වන්නට කුළුණු නොමැත. සාමාන්‍යයෙන් රජ මාළිගය නමින් හඳුන්වන ගොඩනැගිලි, පාදම චතුරස් හැඩයෙන් යුක්ත වේදිකාවක් ලෙසින් දර්ශනය වේ. ගොඩනැගිලි පාදම සමග ඇති පියගැටපෙළෙහි සරල කොරවක් ගල් දෙකක් තිබේ. සභා ශාලාව නමින් හැඳින්වූ ගොඩනැගිල්ලට බටහිර දෙසින් ආයත චතුරස්‍රාකාර ගොඩනැගිලි පාදමක් ඇත. මෙහි ප්‍රමාණය දිගින් මීටර් 66.30ක් ද පළල මීටර් 6.60ක් ද වේ.
යාපහුවේ පැරණි නිර්මාණයන් අතර, සෝපානය ඉතා වැදගත් වෙයි. දළ බෑවුමක් සහිත භූමියේ මාලක හතරක් ගොඩනගා දළදා මාළිගය තෙක් යාමට පියගැට ‍පෙළ ඒ ආශ්‍රිතව නිර්මාණය කර තිබේ. පළමු මාලකයට පිවිසීමට පියගැටපෙළ 24ක් නැගිය යුතුය. මෙහි දී පියගැට පෙළ 14ක් නැගීමෙන් පසු පුළුල් පියගැටක් යොදා විවේක ස්ථානයක් කරවා ඇත. පළමු මාළකයෙන් දෙවන මාළකයට නැගීමට දළ බෑවුම් සහිත පියගැට පෙළක තරණය කළ යුතුය. එහි පියගැට පෙළ 65ක් දක්නට ලැබේ. මෙම පියගැට පෙළෙහි අත්වැල ලෙස එකින් එක කුඩා වන පෙට්ටි කිහිපයක් නිර්මාණය කර ඇත. ඉන් පසු හතරැස් ආකාරයේ වේදිකාවට පිවිසිය හැකිය. සිව්රැස් වේදිකාව සහිත මාලයකට, දළදා මාළිගය නමින් හඳුන්වන ගොඩනැගිල්ල හා අලංකාර පියගැට පෙළ ද්වාර මණ්ඩපය දිස්වේ. මෙම සෝපාන පන්තිය උසස් කැටයමින් ආඪ්‍යවන අතර, ඒවා වර්ණාලේප කර තිබූ බවට සාධක ඇත. මෙම ගෘහ නිර්මාණ අංගවලට දකුණු ඉන්දීය වාස්තු විද්‍යාත්මක අංගවල බලපෑම උද්දිපනය වී පෙනේ. සෝපාන පන්තියේ දෙපසෙහි ඇති කැටයම් ඉතා සංකීර්ණ මෙන් ම උසස් කැටයම් නිර්මාණ වන අතර, දෙපසෙහිම ඇති කැටයම්වල සමානත්වයක් ඇත. වාමන රූපය, නළඟනගේ රුව, නාරි ලාලිත්‍යය මනාව අයුරින් නිරූපනය වන කාන්තා රුව ආදී විසිතුරු කැටයමින් යුක්තය. ඉන් අනතුරුව අත්වැල ලෙස භාවිත වන්නේ කිහිඹි මුහුණක් සහිත කොරවක් ගලකි. මෙම අත්වැල මත උකකුටියෙන් සිටින සිංහ මූර්ති දෙක ශෛලිගත ආකාරයට නෙළා ඇත. මෙම පියගැට පෙළේ දෙවන ‍කොටසේ වාමන රූප හා ගජසිංහ රුවක් කැටයමට නගා තිබේ. උස මාලකයේ පිහිටි ද්වාර මණ්ඩපයේ පහළ තීරු බොරදමින් අලංකෘත වන අතර, මධ්‍යය කොටසේ තීරුවල රංගනයේ යෙදෙන කාන්තා හා පිරිමි රූප, වාදකයින්, ආදිය කැටයම් කර තිබේ. මණ්ඩපයේ ඉදිරි ප්‍රක්ෂේපනයේ අලංකාර කුළුණු දැකිය හැකිය. ප්‍රවේශ මාර්ගයේ මධ්‍යයට වන්නට විවිධ කැටයම්වලින් යුක්ත ශෛල්‍යමය උළුවස්සකි.
ද්වාර මණ්ඩපයෙන් පසු දළදා මාලිගය නමින් හැඳින්වෙන අත්තිවාරම හමු වේ. පර්වතයේ මුදුනේ විවිධ ගොඩනැගිලි පාදම්, නටඹුන්ව ගිය ස්තූපයක්, පොකුණු, ගල්කෙමි, පනාබැමි, ගලේ කෙටූ පියගැට පෙළ ආදිය දක්නට ලැබේ. යාපහුව ආශ්‍රිතව ලෙන් 40ක් පමණ දක්නට ලැබෙන අතර, ඉන් 25ක් පමණ කටාරම් කෙටූ ඒවා ය. කටාරම්කෙටූ ඇතැම් ලෙන්වල ශිලා ලිපි කොටා ඇත.
යාපහුව රාජධානිය එක් යුගයක ආරක්‍ෂාව සැකය මත බලකොටුවක තත්වයෙන් පැවැතුනද එහිම සන්තාපය විය වුල සන්සිඳවන නිවී සැනසෙන මානසික සුවය උදෙසා නම් වු තැන තැන ඉදිව ඇති වෙහෙර වහන්සේලා ගේ නටබුන්, විහාර මන්දිරය, භික්‍ෂූන් වහන්සේ උදෙසා වූ ලෙන් කුටි, බෝධිඝර නටබුන් ආදියෙන් සමන්විත විහාර සංකීර්ණයක ලක්‍ෂණ දකින්න ලැබෙයි.බලය හා විමුක්තියේ සංඝට්ටනයෙන් ජනිත වන යාපහු රාජධානියේ වන ද්වාරමණ්ඩප සෝපාන පද්ධතියේ නිර්මාණාත්මක විශිෂ්ඨත්වය අනෙකුත් සියලු නිර්මාණයන් අභිබවන සුළුය. එය උදාන වාක්‍යයකින් පවසා නිම කළ නොහැකි උදාරතර වූ සදාතනික සිහිවටනයකි.