දිවිමග සහන් සුවයෙන් සනසන සිංහල අලුත් අවුරුද්ද

  • Sharebar

දිවිමග සහන් සුවයෙන් සනසන සිංහල අලුත් අවුරුද්ද

---------------------------------------------------------------------------------------------

අස්ගිරි මහා සංඝ සභාවේ මහෝපාධ්‍යය
ශ්‍රාස්ත්‍රවේදී පණ්ඩිත
අමුණුපුර පියරතන හිමි

සිරිලක සිරියෙන් පිරී ඉතිරී පැතිරී යන සිංහල අලුත් අවුරුද්ද වූ කලී ලාංකික ජනතාවගේ ඓතිහාසික උදාර අනන්‍යතාවය ප්‍රකට කරන කැඩපතක් බඳුය. චින්තනය, භාෂාව, ආහාර, ඇඳුම් පැළඳුම් ගමන් බිමන් ආදී ජීවන ගමනේ සියලු අවශ්‍යතාවයන් සංයුක්තවන බක් මස සොබා දහමින් මානව සමාජයට දෙන අනගි දායාදයකි.

ලක්දිව බක් මාසය ලංවත්ම ගම් නියම්ගම් නගරවල ගෙයක් දොරක් පාසා, මගක් තොටක් කමතක් ගානේ බාල තරුණ, මහළු, සැම දෙනාම අලුත් සිතුම් පැතුම් වලින් සම්පතින් ප්‍රබෝධමත් වන්නේ මල්පලින් බර තුරුලතා මත ගිරා කොවුල් සැළලිහිණි ආදී විහගුන්ගේ සුමිහිරි නාද ස්වරයෙන් දෙසවනට යොමුවෙන සංඥාවෙනි.

---------------------------------------------------------------------------------------------

අලුත් අවුරුදු සමයේ ක්‍රියාකාරීත්වයෙන් පෝෂණය වන ප්‍රධාන විෂයන්

1. නක්‍ෂත්‍ර විද්‍යාව
2. ආගම දහම
3. කෘෂි කර්මය ප්‍රධාන ආර්ථිකය
4. ශිෂ්ටාචාරය

 

මිනිසා විශ්වය පිළිබඳව සිතන්නට ආරම්භ වූ දා සිට නක්‍ෂත්‍ර විද්‍යාව උපයෝගි කරගත් වග ශාස්ත්‍රඥයන්ගේ මතයයි. චින්තන ශක්තිය දියුණුවත්ම විශ්වයේ ක්‍රියාකාරීත්වය පදනම් කරගෙන කාලය බෙදා වෙන්කරගෙන එයින් මිනිසාගේ දුකසැප පිළිබඳ තීරණය කරන්නට වූයේ දිගු කලක් කළ පර්යේෂණාත්මක අත්දැකීම් අනුවය.

මහපොළොවේ සිට දර්ශන පථයේ ප්‍රකටව පෙනෙන ඉරහඳ තාරකා යන ග්‍රහයන්ගේ චලනත්වය මිනිස් චින්තනයට මෙන්ම පුද්ගල හා පුද්ගලාන්තර සහජීවනයට මෙන්ම ජීවාත්මක ශිෂ්ටාචාරයටද සම්බන්ධවන අයුරු සොයා ගන්නට හැකිවිය.

නක්‍ෂත්‍ර විද්‍යාවෙන් පාලනය කරගන්නා කාලය ජීවන ගමනේ සාර්ථකත්වයට උපයෝගී කර ගැනීමෙහිලා මෙම අවුරුදු සමයේ ජනතාව සූදානම් වන්නේ සෙසු සියලු කාර්යන් අමතක කිරීමෙනි.

දින දින යාන්ත්‍රිකවන මිනිසාට මෙම කාලය තුළ සිහිබුද්ධියෙන්, සහන්සුවයෙන්, ප්‍රසන්න මනසින් තම තමන්ගේ පෞද්ගලික හා පොදු කාර්යයන් සඵලත්වය තෙක් කරගෙන යාමේ ධෛර්ය වාසනාව උදාවන ආකාරයට අවුරුදු සමයේ ක්‍රියාවලිය සකස් වී ඇත. සිතීම, අධිෂ්ඨානය ක්‍රියාකාරීත්වය හා විපුල ප්‍රයෝජනය යන සියල්ලම එකිනෙකට ක්‍රමවත්ව සංයුක්තව පවත්නා බැවින් ප්‍රත්‍යක්ෂයෙන් ජීවන සහනය ලබන්නට හැකිවන්නේය. පියවරෙන් පියවර එළඹෙන කාර්යයන්ට පොදුවේ සම්බන්ධ වන්නට හැකි නිසාම ගෙදරදොරේ සාමය, සමඟිය වර්ධනය වී සම්පත් පිරී ඉතිරී යන්නේය.

ශ්‍රී ලංකාවාසී ජනතාව වසර දෙදහස් පන්සිය ගණනකට පෙරසිට බුද්ධාගම හා හින්දු ආගම් දෙක මිශ්‍රව ශ්‍රද්ධා භක්ති චින්තනයෙන් බුද්ධාදී තෙරුවන් පිළිබඳ ප්‍රසන්න ශ්‍රද්ධාවක් අසීමිත දේව භක්තියත් ස්වාධීන චින්තනයෙන් ප්‍රාණවත්ව සියලු සිරිත් විරිත් අනුගමනය කොට උදාර මානුෂික ගුණාංග ආරක්ෂා කරගෙන මතු පරපුරට දායාද කළ අයුරු මෙවන් උත්සව ඉතිහාස කතාවෙන් ප්‍රකට වන්නේය.

ලක්දිව ජනවංශ පරපුරේ ආදිතම රජවරුන්ද නැකැත් සැණකෙළි පැවැත්වූ අයුරු මහාවංශාදී ඓතිහාසික ග්‍රන්ථවලින් දක්නට පුළුවන. සියදහස් ගණන් සිරිත්විරිත් වලින් පෝෂණය වී ආර්ය ශිෂ්ටාචාරය මෙතරම් උදාරත්වයට පත්වූයේ එවන් අසිරිමත් සැණකෙළිවලින් ආරක්ෂා වු සාමූහික හැඟීම් නිසාමය.

විශේෂයෙන් සූර්ය මණ්ඩලය මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන මොහොත සෞරග්‍රහ මණ්ඩලයම අක්‍රියවන නිසා ජීව අජීව සැමටම බලපාන බැවින් මානව සිත්සතන් තුළ අධ්‍යාත්මික හැඟීම් ජනිතවිය යුතු වන්නේ ය.

නක්‍ෂත්‍ර විද්‍යාව විශ්වාස කරන බුදුදහම පිළිපදින ලාංකිකයන් අලුත් අවුරුදු සමයේ නියමිත සිරිත්විරිත් අනුගමනය කොට තමන් මෙන්ම සමස්ත මානව සමාජය ආරක්ෂා කර පෝෂණය කරන්නට උනන්දු විය යුතුය.

වසර දෙදහස් ගණනක් අඛණ්ඩව උදාරතම ශිෂ්ටාචාරයක් ආරක්ෂා කළ ජාතීන් අතරට ලාංකික ජනතාව ප්‍රධාන වන්නේ නක්‍ෂත්‍ර විද්‍යාවත්, ථෙරවාදී, බුද්ධාගමත්, ආයුර්වේදයත් සංයුක්තව පවත්වාගෙන එන මෙම අලුත් අවුරුදු උත්සව නිසාමය. බුද්ධාගම ආගමික දර්ශනයක් වශයෙන් මෙන්ම වෙනත් උදාර විෂයන් ප්‍රවේශවීමට මෙන්ම ප්‍රවර්ධනය වීමට තෝතැන්නක් බැවින් අලුත් අවුරුදු උත්සව සමයේ සිංහල බෞද්ධයන් ක්‍රියාත්මක කරන උතුම් සිරිත් විරිත් වලින් ලබන සාධනීය ප්‍රතිඵල වලින් ලංකාවට පමණක් නොව සකල මනාව පරපුරටම වන ශාන්තිය අපමණය.

 

 

අලුත් අවුරුදු උත්සව ප්‍රධාන කරගෙන ලාංකිකයන් ලබන ප්‍රයෝජන

01. ආගමික දියුණුව
02. උදාර සිරිත් විරිත් ආරක්ෂාවීම
03. සාමය සමඟිය ඇතිවීම
04. සෞන්දර්ය විෂයන් පෝෂණය වීම

බුද්ධාගම හා හින්දු ආගම පිළිබඳ ප්‍රායෝගික ක්‍රියාවන් දෛනික ජීවිතයට සම්බන්ධවන යෝග්‍යතම අවස්ථා එළඹෙන්නේ අලුත් අවුරුදු සමයේදීය. බාහිර වශයෙන් පුරුදු පුහුණුවන සෑම දේකම හරය වන්නේ අධ්‍යාත්මික ගුණයයි.

මෙම උත්සව සමයේ කේන්ද්‍රස්ථානවන විහාරෙන් හා දේවාලයෙන් ලබන ආශිර්වාදය වසර පුරාවට තිරසර වන අතර ආනුසංගික ක්‍රියාවලියේ අවසන් අර්ථය වශයෙන් දෙලොව ශාන්තිය ලබන්නට වාසනාව වන්නේය. ශිෂ්ඨාචාරයක අනන්‍යතාවය ප්‍රකට වන්නේ සිරිත් විරිත් වලිනි. ලාංකික ජනතාවගේ් ශ්‍රේෂ්ඨත්වය ප්‍රතිමූර්ති වන්නට අලුත් අවුරුදු උත්සවයම ප්‍රමාණ වන්නේ ය.

බුදුදහමේ දක්වෙන අටතිසක් මංගල කරුණු අතරින් ‘පූජාච පූජනීයානං’ පිදිය යුත්තන් පිදීමාදී කරුණු රාශියක් කි‍්‍රයාත්මක කොට ගුරු ශිෂ්‍ය, පිය පුත්‍ර, ස්වාමි සේවක යුතුකම් හා අයිතිවාසිකම් ආරක්ෂා කර ගන්නට මහඟු අවස්ථාවක් එළඹෙන්නේය. ගෙදරදොරේ වතාවත් නිමවා අහල පහළ යාළුමිත්‍රාදීන් හමුවීම ආචාර සමාචාර පැවැත්වීම ආහාරපාන ඇඳුම් පැළඳුම් බෙදා ගැනීමේදී සියලු ක්‍රියාවන්ගෙන් පවිත්‍ර සන්තානය ඉඳුරන්ගෙන් ප්‍රකාශයට පත්කෙරේ.

සොබා දහමින් ජනතාවට ලබාදෙන භූගත සම්පත් පොදු හැඟීමෙන් පරිහරණය කරන්නට මෙන්ම මතු පරපුරට සංරක්ෂණය කරන්නට ඉතාමත් සුමිහිරි හැඟීමෙන් නිරායාසයෙන් ක්‍රියාත්මක කරන්නට අවස්ථාව එළඹෙන්නේ මෙම උත්සව සමයේ බව පැහැදිලි වේ.

සෑම උත්සවයක්ම මිනිසා විසින් සකස් කරගන්නේ ආශ්වාස ප්‍රාශ්වාසයට ජීවධාතුව එක් කරගෙන මොහොතක් හෝ වැඩියෙන් ජීවත්වීමටය. මෙම බක්මහ උළෙල සමයේ පුද්ගලයා හා පුද්ගලාන්තරව සිදුවන සිරිත් විරිත්වලින් ඉවසීම, සොම්නස, කරුණාව, දයාව ආදී උත්තරීතර මානුෂික හැඟූම් පෝෂණය වේ.

පන්සලේ ගරුතර මහා සංඝරත්නය දෙවොලේ කපුමහතා, ආයුර්වේද, වෙදමහතා, නැකැත්රාළ ගොවි මහතා, යන සියලු දෙනාටම විවෘත හදවතින් තම තමන්ගේ නියමිත කාර්යයන් සොම්නසින් ඉෂ්ට සිද්ධ කරනවිට ගෙදරට, ගමට පළාතට රටට සිදුවන සෙත, අසිරිය කියා ලියා වණා නිමකළ නොහැක්කේ ම ය.

කාලය මොහොතක් පාසා වෙනස්වෙමින් සකලජීවීන් මෙන්ම භෞතික වස්තූන්ද අලුත් ලොවකට පියවර තබන වග අපට පැහැදිලි වේ. එහෙත් වසර දහස් ගණනක සිට පරපුරෙන් පරපුරට බහුජන සම්මතයෙන් පැවතෙන සුර්ය සංක්‍රාන්තිය අලුත් අවුරුද්ද වශයෙන් මිනිසාට අතීතය දෙස බලා අත්දැකීමෙන් අනාගත ජීවන පැවැත්ම බුද්ධියෙන් තීරණය කිරීමට හැකි වන්නේ ය.

බක් මසලත් මේසය යන රැසටා
සක් රජ ලෙස දිවසළු ඇඳ සොඳටා
නෙක් ආසිරි සලසා සව් සතටා
නික්මෙයි සූරිය දෙව් මේ ලොවටා
(අවුරුදුමාලය)

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!!