කැලණි විහාරයේ සිතුවම් අතර දළදා වහන්සේ නිරූපණය කර ඇති අයුරු

  • Sharebar

කැලණි විහාරයේ දක්නට ලැබෙන සිතුවම් නිර්මාණය කර ඇත්තේ සෝලියස් මැන්ඩිස් නමැති මහා සිත්තරා ය. කැලණි විහාරයේ නව විහාරය නමින් හඳුන්වනු ලබන විහාරගෙයි වම්පස පෙදෙස හා දකුණුපස පෙදෙසෙහි දක්නට ලැබෙන සිතුවම් සියල්ලම මේ මහා කලාකරුවා විසින් නිමවා තිබේ. එම සිතුවම් නිර්මාණය කිරීම සඳහා වර්ණ තනා ගත්තේ ලංකා පොළොවේ පස් හා විවිධ ශාකවල යුෂවලින්ය. සිතුවම් ඇඳීමට ගෙන තිබෙන්නේ එම පස් හා යුෂවලින් තනා ගන්නා ලද වර්ණයි. එම වර්ණ අතර කහ, රතු, තැඹිලි, දුඹුරු, කළු යන වර්ණ ප‍්‍රකටවේ.

ඒ ඒ වර්ණවල තිබෙන උණුසුම් බව බොහෝ දුරට අඩු කර සෞම්‍ය වර්ණ බවට පත් කර ඇත. කහ පාට තනා ගෙන ඇත්තේ ගොකටු ගසේ කිරිවලින් ය. දුඹුරු පාට ගුරුගල් ඇඹරීමෙන් ද රතු පාට සාදිලිංගම් මලින් ද මකුළු මැට්ටෙන් සුදු පාට ද තනාගෙන ඇත. මේ සුදු පාට හැම පාටක් සමගින් ම මිශ‍්‍ර කර ඇත.
කැලණි විහාරයේ බුදු සිරිතට අදාළ විශේෂයෙන් ලංකාවේ ශාසන ඉතිහාසයට අදාළ වැදගත් මාතෘකාවන්ට අදාළ වත සිතුවම් ඇඳ ඇත. මෙහිදී අපගේ අවධානය ;යාමුවන්නේ දළදා වහන්සේට අදාළ සිතුවම් කිහිපයයි. මෙහි ප‍්‍රධාන සිතුවම් හතරක් දක්නට ලැබේ.

01. හේමමාලා කුමරිය හා දන්ත කුමරු සර්වඥ දළදාව රැගෙන ලක්දිවට පැමිණීම.
මෙම සිතුවමෙන් නිරූපණය වන්නේ හේමමාලා සහ දන්ත කුමරු යන දෙදෙනා දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවා ගෙන ඒමයි. සිතුවම තුළින් දළදා වහන්සේ නිරූපණය කරණු ලබන්නේ හේමමාලාවගේ හිස මුදුනෙන් රැස් මාලාවක් දිස්වන අයුරු දැක්වීමෙනි. රැස් මාලාව ඇගේ හිස් මුදුනෙන් දිස්වන්නේ කෙස්වැටිය තුළ දළදා වහන්සේ සඟවා ගෙන තිබෙන නිසා ය. මැගේ අතේ පැන් කෙණ්ඩියක් ද රෙදි පොට්ටනියක් ද බටනලාවක් ද ඇති අතර දන්ත කුමරුගේ අතේ ති‍්‍රශූලයක් වැනි ආයුධයක් ද කුඩයක් ද, කෙණ්ඩියක් ද, දකුණු උරයේ ගමන් මල්ලක් ද ඇත. තවද මෙය දළදාව පිළිබඳ දක්නට ඇති ප‍්‍රධාන සිතුවමයි.
මොවුන් දළදා වහන්සේ රැගෙන පැමිණ ඇත්තේ තාපස විලාසයක් අනුගමනය කරමිණි. දළදාවට තිබෙන ගෞරවය නිසා ම හිස මුදුනේ මලක් ද රඳවා ගෙන ඇත. තවද දළදාවට කරන ගෞරවයක් වශයෙන් දෙදෙනාම පාවහන්ද දමා නොමැත. මෙම සිතුවම නිර්මාණය කිරීමට යොදාගෙන ඇති පාට වන්නේ සුදු, රතු, කළු, කහ, දුඹුරු, ලා කොළ, තැඹිලි, අළු වැනි සිත නිවන සෞම්‍ය පාටය. මීට අදාළ වූ ඓතිහාසික සිදුවීම වන්නේ දඹදිව පඩු රජු දළදාව ගුහසීව රජුට පාවාදී රටින් නික්මුණු පසු කාලිංග රජු ගුහ සීව රජුට නොයෙක් පඬුරු දී සතුටු කොට දළදාව රැගෙන දුර කතර ගෙවා සිය නුවරට පැමිණ එයට පුද සත්කාර පැවැත්වීය.

02. අන්‍ය තීර්ථකයින් දළදාව කිණිහිරයේ තබා තැලීමට උත්සුක වන අවස්ථාව දැක්වෙන සිතුවම.
මේ සිතුවම තුළින් දළදා වහන්සේ රශ්මිය විහිදු වෙමින් මනාව වැඩ සිටින අයුරු දැක්වේ. එසේම දළදා වහන්සේගේ දිග හා හැඩයේ ස්වභාවය ද දැක්වේ. කිරි සුදු පැහැයෙන් දිස්වෙන අයුරු මැනවින් සිතුවමෙහි නිරූපණය කොට ඇත. දළදාව යකඩ ආසනයක් මත තබා මිටියක් අතතිව සිටින මිනිසෙකුද ඊට මඳක් දෙපසින් මිනිසුන් තිදෙනෙක් සිටින අයුරුද, ඊටත් එහායින් පඬු නිරිඳු සිංහාසනය මත සිටිමින් දළදාව තලන ලෙස අණකරණ අයුරුද මේ දළදාවට සම්බන්ධ සිතුවම තුළින් දක්වා ඇත. මේ සිතුවම සිතුවම් කිරීමට ලා නිල්, රතු, සුදු, දුඹුරු, ලා පැහැයෙන් යුතු කොල පාටද ඒවාගේම මෙම සිතුවම තුළ කහ වර්ණය වැඩිපුර දක්නට ලැබේ. හිස කෙස් සඳහා කළු පැහැයෙන් යුතු වර්ණයක්ද යොදාගෙන ඇත. මෙයින් සජීවීබවක් ද සිතුවමට ලැබී ඇති බව පෙනේ.

03. මහ සඟ රුවන දළදාවට සත්කාර කරන අයුරු.
මේ සිතුවෙමින් දළදාව නිරූපනය කරනු ලබා ඇත්තේ ඉතා මනහර හැඩතලවලින් නිර්මාණය කරණ ලද දා කරඬුවක් තුළය. එම දා කරඬුව තුළ වැඩ සිටින දළදාව කිරි සුදු පාටින් දිලිසෙමින් රශ්මි වළල්ලක් නිකුත් කරනු ලබයි. මෙම දා කරඬුව බහා තබා ඇත්තේ ඉතා වටිනා කලාත්මක බවකින් පිරිපුන් පුටුවක් වැනි ආසනයකය. එම අසුන උඩින් අලංකාර මුතු කුඩයක්ද දක්නට ලැබේ. ඊට යටින් කරඬුව තැන්පත්කොට ඇත. දළදා කරඬුව තුළ පියුමක් මතුයෙහි තිබෙන අයුරු සිතුවෙමින් දක්වා ඇත. එම කරඬුව විවිධ කැටයමින් යුක්ත වන අතර මේ සඳහා යොදාගෙන ඇත්තේ කහපාට වර්ණයයි. කරඬුව ඉදිරියේ මල් සහ පලතුරු සහිත බඳුනක් ද දකුණු පසින් භික්‍ෂුවක් සිටගෙන දළදාවට නමස්කාර කරන අයුරු ද, වම්පසින් රජු දණගසා නමස්කාර කරණ අයුරුද නිරූපණය කොට ඇත. මේ සඳහා යොදාගෙන ඇති පාට වන්නේ රතු, කහ, සුදු, තැබිලි, දුඹුරු, කළු වැනි වර්ණ ප‍්‍රධාන වේ. මේ දළදාවේ අනුරපුරට වැඩම වීමෙන් අනතුරුව කළ සත්කාරයයි.

04. දෙවිවරු දළදාවට පුද සත්කාර කරණ අවස්ථාවක්.
මහිදී දළදාව අහස් ගැබේ වැඩ සිටින ආකාරය සිතුවෙමහි දක්වා තිබේ. එහි දළදාව තැන්පත් කර ඇති කරඬුව අනික් කරඬුවලට වඩා වෙනස් ස්වරූපයක් පෙන්නුම් කරයි. එනම් රවුම් හැඩය ගත් වටේට පේසා වළලු වැනි හැඩය ගත් ධාරා කිහිපයක් ද ඇති මුදුනෙහි නෙළුම් මලක් ඇති එහි මඳක් උඩට පැමිණ දළදාව කිරි සුදු පාටින් මැනවින් බබළන ආකාරය පෙන්නුම් කොට ඇත. මෙහිදී මේ සිතුවම අනෙක් සිතුවම් තුන හා සංසÁදනය කොට බැලීමෙන් දක්නට ලැබෙන විශේෂත්වය වන්නේ දළදා වහන්සේ ෂඩ් වර්ණ නිකුත් කරණ අයුරුය. එය වටේට මනහර ලෙස සිතුවම් කොට ඇත.

ඔක්කම්පිටියේ ධම්මානන්ද හිමි
විද්‍යොදය පිරිවෙන
මාලිගාකන්ද - කොළඹ - 10