අවුරුදු චාරිත්‍රවල බෞද්ධ දර්ශනයේ ගැඹුරු හරය අන්තර්ගතයි

  • Sharebar

ආචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමි

සිංහල බෞද්ධයන් බහුතරයක් වාසය කරන ශ්‍රී ලංකාද්වීපයේ සිංහලයා සමරන සිංහල හින්දු අලුත් අවුරුද්දේ බෞද්ධයාට අනන්‍ය ලක්ෂණ ඕනෑතරම් දැකගත හැකියි. එහෙත් බුද්ධ ධර්මය ඇතුළත් ත්‍රිපිටකයේ එවන් අවුරුදු උදාව වැනි නක්ෂත්‍රය පදනම් කරගත් උත්සවයක් පිළිබඳ නිශ්චිත කාල වකවානු සහිතව විස්තර වී තිබෙනවා ද?

මෙහිදී අතීත භික්ෂුන් වහන්සේලාගේ දින චර්යාවන් පිළිබඳ විමසීමේදී උන්වහන්සේලා සෘතු ආරම්භය සෘතුව ගෙවී අවසන් වීම, ඒ සඳහා තිබෙන දින ගණන වැනි දේ නිශ්චිත ව දැන සිටි බව දක්නට ලැබෙනවා. වස් සමාදන් වීම, වස් පවාරණය, පොහොය කිරීම් ආදිය තීරණය වුණේ කාල නිර්ණය පිළිබඳ තිබූ දැනුම මතයි. ඒ කාල නිර්ණය පිළිබඳ උන්වහන්සේලාට ආවේණික වූ බුද්ධ වර්ෂ කැලැන්ඩරයක් තිබු බවට ඉන් හෙළි වෙනවා.

ඒ කැලැන්ඩරය ජුලියස් සීසර්ගේ කැලැන්ඩරයට වඩා වෙනස් වූවක්. එය චන්ද්‍ර මාස ක්‍රමයට හෙවත් චන්ද්‍රයා මතු වී ක්‍රමයෙන් සම්පූර්ණ ව මැකී යාම සිදුවන දින 28 ක කාලය අනුව මාසය තීරණය වන කැලැන්ඩරයක් වුණා. අතීත භික්ෂුන්වහන්සේලාට පැහැදිලි ලෙස කාල නිර්ණය කර ගැනීමේ හැකියාවක් තිබුණා.

ඒ අතර “නක්කත්ත කේළි” හෙවත් නැකැත් කෙළි නමින් හඳුන්වන ගිරග්ග සමජ්ජ වැනි උත්සව පිළිබඳ ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. නැකැත් කෙළි කියන්නේ එක් නැකතකින් තවත් නැකැතකට මාරු වන අවස්ථාවල දී තම තමන්ගේ චාරිත්‍රානුකූලව එය සමරනු ලැබු උත්සව සම්ප්‍රදායක්. මේ නැකැත් මාරුවීම ඇත්තෙන්ම සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට මාරු වීමයි කීම පිළිබඳ සාධක සෙවීම අපහසුයි. ඒ නිසා ඒ ගැන අපට නිශ්චිත නිගමනයකට එළැඹීම අසීරු වුවත් මේ වැනි නැකැත් කේන්ද්‍ර කරගත් උත්සව සම්බන්ධ වාර්තා ත්‍රිපිටකයෙන් සොයාගත හැකි වෙනවා.

නක්ෂත්‍රය අනුව සලකා බැලුවත් සිංහල අලුත් අවුරුද්ද සූර්ය වන්දනය කේන්ද්‍ර කරගත්තක් බව දක්නට ලැබෙනවා. සූර්ය වන්දනය මානව ශිෂ්ටාචාරයේ ආරම්භක යුගය දක්වා විහිද යන ඇදහිලි සම්ප්‍රදායක් වුවත් සිංහල අලුත් අවුරුද්දේ සූර්ය වන්දනය අපට එන්නේ හින්දුන්ගෙන් නොවේ ද?

අපේ පෙරදිග සංස්කෘතිය කියන්නේ ඉරයි හඳයි එක්ක ජීවත් වූ මිනිසුන්ගේ සංස්කෘතියයි. සැකෙවින් කියනවානම් අපි ඉරෙන් හඳෙන් වැඩ ගත් මිනිස්සු. මොහෙන්දජාරෝ හරප්පා ශිෂ්ටාචාරයේ පටන් සූර්ය වන්දනාව සිදුවී තිබෙනවා. සෘග්වේදයේ තිබෙනවා සූර්යයාගේ එක් එක් ගුණාංග වන්දනා කිරීමේ ක්‍රමයක් මෝර පිරිතෙත් සඳහන් වෙනවා එකල ජනයා අතර සූර්ය වන්දනය තිබූ බව. බෝසත් මොනරා ආහාර සොයා යන්නේ සූර්යයා වන්දනා කිරීමෙන් අනතුරුවයි.

“උදෙතයං චක්ඛුමා එකරාජා - හරිස්සවණ්ණො
පඨවිජ්‍ය භාසො - තං තං නමස්සාමි හරිස්සවණ්ණං
පඨවිජ්‍ය භාසං - තයජ්ජ ගුත්තා විහරෙමු දිවසං”

ගස්වැල් ඵල දරන්නේ සූර්යයාගේ ශක්තියෙන් බව එදා මිනිස්සු දැන සිටියා. ඒ නිසා මිසක් හුදු කුතුහලයක් නිසා සූර්ය වන්දනයට ඔවුන් යොමුවුණා යයි කියන්න බැහැ. එය කෘතගුණ සැලකීමක්.

එහෙත් පඬුවස්දෙව් රජ යුගය, පොළොන්නරු යුගය වැනි ඉපැරැණි යුගවලදී දැඩි ලෙස හින්දු බලපෑමට අප නතු වීමක් දක්නට ලැබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මෙවැනි උත්සව සම්ප්‍රදායක් ඇතිවූවා යයි සිතිය හැකි ද?

විජය ඇතුළු පිරිසගේ පැමිණීම, තපස්සු භල්ලුක වැනි වෙළෙඳුන්ගේ පැමිණීම, භද්ද කච්චායන වැනි ඉන්දීය කතුන්ගේ පැමිණීම සිදුවුණා නම් ඔවුන්ගේ සම්ප්‍රදායන් මෙහි නො පැමිණියා යයි කියන්න බැහැ. දෙවන පෑතිස් රජු දෙවන වරටත් රාජාභිෂේකය ලබන්නේ ඉන්දීය බ්‍රාහ්මණයන්ගේ ක්‍රමයට යි. එ වැනි බලපෑමක් තිබුණා. මිහිඳු මහරහතුන් වහන්සේ මේ රටට වැඩම කරන විට රටේ රජු සිටියේ නැකැත් කෙළි සඳහා පිටත්වී. එහෙත් එය පොසොන් මාසයේ පැවතුණක් ලෙසයි පිළි ගැනෙන්නේ. අද අපි අවුරුදු සමරන්නේ අපි‍්‍රයෙල් මාසයේ. කෙසේ වෙතත් ඒ සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමයි. එය දැනුම්දීමේ භාරකාරිත්වය දරන්නේ ජෝතිර් විද්‍යාඥයන් මිස කැලැන්ඩර්කරුවන් නොවෙයි.

කෙසේ වෙතත් මේ කියන යුගවලදී පමණක් නෙවෙයි කෝට්ටේ දඹදෙණි යුගවලදී පවා අපට සිංහල හින්දු අලුත් අවුරුද්දක් ගැන සඳහන් වෙන්නෙ නැහැ. මෙය ජනපි‍්‍රය වී තිබෙන්නේ රාජසිංහ රජුගෙන් පසු අන්දරේ, ගජමන් නෝනා ආදින්ගේ ප්‍රවෘත්ති පැවති මාතර යුගයෙන් පසුව යි.

වර්තමානයේ සිංහල අලුත් අවුරුද්දේ භාවිත චාරිත්‍ර දෙස බලන විට සූර්ය වන්දනාවට වඩා දක්නට ලැබෙන්නේ බෞද්ධ චාරිත්‍ර යැයි කිව හැකියි.

එයින් අපට ප්‍රකට වන්නේ බුදු දහමේ තිබෙන අනුයෝජනශීලීතාව යි. එනම් අදාළ පරිසරයට ගැළපෙන පරිදි තමන්ගේ සංකල්ප හසුරුවා ගැනීමේ හැකියාවයි. විශේෂයෙන් අලුත් අවුරුද්දේ තිබෙන නැකැත් හෝරා ආදිය පිළිබඳ තොරතුරු දැනගැනීමට ලැබෙන්නේ නක්ෂත්‍රය අඩංගු හින්දු ග්‍රන්ථවලින්. ඒ නිසා අලුත් අවුරුද්දේ දී හින්දුන් සමඟ එක්වීමේ යුතුකමක් සිංහලයාට තිබුණා. එය අන්‍යොන්‍ය සුහදතාව වර්ධනය කරන පාලමක් වුණා. සිංහලයාත් ද්‍රවිඩ ජනයාත් එකම දිනෙක එකම මොහොතකට එකම ක්‍රියාවකින් එක්වීම තුළ ජාති ආගම් වශයෙන් මොන දේට එකඟ වෙන්න බැරි වුණත් මේ ඉර හඳ යට මිනිසුන් ලෙස එකම ක්‍රියාවකට එකතු වෙන්න හැකි බව කියැවෙනවා. එය එක් අතකින් බුදු දහමේ සමානාත්මතා සංකල්පය ක්‍රියාවට නැංවීමක්.

එ මෙන්ම නොනගතය වැනි හින්දු සංකල්ප පුණ්‍ය කාලය බවට පත්වන්නේත් බෞද්ධ පදනම මත නොවේ ද?

බුදු දහමට අනුව ඕනෑම දෙයක් ඕනෑම තැනකින් පටන් ගන්න පුළුවන් කියන දේ පැහැදිලි කරල තියෙනවා. කොතරම් ප්‍රාණඝාත කළත් අංගුලිමාල අලුතින් ජීවිතය පටන් අරන් රහත්භාවය ලැබුවා. ඕනෑම මනුෂ්‍යයකුට අලුත් තැනකින් පටන්ගන්න පුළුවන් කියන දර්ශනය අපි දකිනවා ඔය කියන පුණ්‍ය කාලයේදී. තමන් කළ වැරැදි අමතක කර දමලා අලුතින් හිතන්න, අලුත් මිනිසකු වන්න සුදුසු කාලය තමයි නොනගතය. ඇතැම් අය කියනවා ඒ නැකැත් නැති කාලයක් කියලා. ඒත් ඊට වඩා සමාජමය වශයෙන් වැදගත් වූ කාලයක් තමයි පුණ්‍ය කාලය.

ඒ වගේ ම ඔබ මතු කළා මෙන්ම අවුරුදු චාරිත්‍ර ලෙස අප අනුගමනය කරන බොහෝ චාරිත්‍රවල බෞද්ධ දර්ශනයේ ගැඹුරු හරයක් අන්තර්ගතව තිබෙනවා. අවුරුද්දට බුලත් හුරුලු දී දෙමාපිය වැඩිහිටියන් වඳින්නේ බෞද්ධ සම්ප්‍රදායේ එන තුනුරුවන් කමා කරගැනීමක් ආකාරයටයි. වැඩ ඇල්ලීම හා ගනුදෙනු කිරීම බොහෝ දෙනා කරන්නේ ළිඳත් සමඟයි. ළිඳෙන් වතුර නිකම්ම ලබාගන්නේ නැහැ. ඊට කාසි කීපයක් දමා ජලය ලබා ගන්නවා. ස්වාභාවික වස්තුන්ටවත් ණය තබාගන්න සිංහල බෞද්ධයා මැළි වුණා. බුදුදහමින් ඔවුන්ට ණය නැති බව හෙවත් අණන සුඛය කියා දී තිබෙනවා. මෙවැනි විශාල බෞද්ධ හර පද්ධතියක් සිංහල අවුරුදු චාරිත්‍රවල දක්නට ලැබෙනවා.

අලුත් අවුරුදු චාරිත්‍රවලින් ඔබ්බට ගිය කෙළි සෙල්ලම්වලටත් සිංහල අලුත් අවුරුද්දේදි විශේෂ ස්ථානයක් ලැබෙනවා. මේ කෙළි සෙල්ලම් හරහා බෞද්ධ ශික්ෂිත සමාජයක් නිරූපණය වෙනවා යයි ඔබ වහන්සේ සිතනවා ද?

බොහෝ ක්‍රීඩාවලදී අද අප දකින්නේ පරාජිතයා දැක සතුටුවන ක්‍රමයක්. බුද්ධ දේශනාවේ තිබෙනවා, ජයග්‍රහණය වෛරක්කාරයන් සාදන බවත්. අපේ අවුරුදු ක්‍රීඩා කිසිවක් සූදු ක්‍රීඩා නෙවෙයි. එක එක වයස් කාණ්ඩවලට ගැළැපෙන ආකාරයේ ක්‍රීඩාවන් අපට තිබෙනවා. මැදිවියේ කතුන්ගේ රබන් ගැසීම්, ගැටිස්සියන්ගේ පංච කෙළි, ඔංචිලිවාරම් ආදිය ඒ අතර වුණා. ඔංචිල්ලාව පැද්දේ ගැහැනු ළමුන් වුවත් එය බැඳ දුන්නේ තරුණයන් විසින්. ඒ අතර සුහදතාවක් ගොඩනැඟුණා. මේ ක්‍රීඩාවලින් එකිනෙකාට ඔවුනොවුන් අවශ්‍යයි යන සංකල්පය නිතර ඉස්මතු වුණා.

කඹ ඇදීමක් හරහා සාමූහිකව ලබන ජයග්‍රහණ පිළිබඳ ලොකු විශ්වාසයක් ගොඩනැඟුණා. අපේ පැරැණි වාරි කර්මාන්ත වෙහෙර විහාර ඉදිවුණේ මේ සාමූහිකත්ව ක්‍රියාකාරකම් නිසයි. සාමූහික සංකල්පය තමයි කඹ ඇදීමක වුණත් අපට දකින්න ලැබෙන්නේ. කෙනෙක් කඹය අරන් දෙන අතර කෙනෙක් කඹය රැකීම කරනවා. මෙසේ එකිනෙකා තම තමන්ගේ කාර්යභාරය හරිහැටි ඉටු කරනවානම් ඒ සමූහය ජය ලබනවා. සාමාන්‍ය ජීවිතයේ ක්‍රියාකාරකම්වලදී සිදුවන්නේත් මෙයයි. මේ රටේ මහා විශ්වකර්ම නිර්මාණ බිහිවන්නේ ඒ පදනම මතයි.

කොට්ට පොරයක් වුණත් ගත්තම අපට පේනවා කය හා මනස සමබරව පවත්වාගත හැකි පුද්ගලයා දිනනවා. මනස සමබර නැති කෙනා කොට්ටයෙන් ගැසීමට පෙර වුණත් වැටෙනවා. මේ කය හා මනස සමබරව පවත්වාගෙන යාමට ජීවිතයට හොඳ පාඩමක් ලෙසයි කොට්ටපොරය මා දකින්නේ. අප අද දකින රෙස්ලින් වැනි ක්‍රීඩාවක වගේ තරගකරුවා ඔසවා බිම ගසන ක්‍රියාකාරකම් මේවායේ නැහැ. තරගකරුට ගසන්නේ පුළුන් කොට්ටයකින්. හරිම අවිහිංසාවාදියි.

ඒ වගේම තමයි පොල් ගෑම, පොල් අතු විවීම, ගී‍්‍රස් ගහ වැනි ක්‍රීඩා එදිනෙදා ජීවිතයේ කටයුතු කරගැනීමට ඇති බුහුටිකම උරගා බලනවා. පොල් අත්තක් වියාගන්න, පොල් ටිකක් ගාගන්න බැරි ගැහැනිය නිතර සමාජයේ ගර්හාවට පාත්‍ර වුණා. ඒ වගේ ම තමයි ගසකට නැග ගන්න බැරි පිරිමියාත්, ඒ වගේම මේ හැම දෙයක්ම මනා ඉවසීමකින් කළ යුතු වෙනවා. සමාජයට සක්‍රීය පුද්ගලයකු දායාද කිරීමටයි මේ ක්‍රීඩා බිහි වී තිබෙන්නේ.

සංලාපය

බුද්ධික සමන් ගුණවර්ධන