අලුත් අවුරුද්ද ගැන පළමු සටහන හමුවන්නේ 15 වැනි ශතවර්ෂයේදීයි

  • Sharebar

මහාචාර්ය මැන්දිස් රෝහණධීර

එරබදු මල් පිපෙන විට, කොවුලන් නද දෙන විට, පලබරින් අතු ඉති නැමෙන විට භාග්‍යයෙන් අග්‍ර වූ බක් මාසය එළැඹෙන බව අපි දනිමු. සිංහල ක්‍රමයට ගත් කල බක් සහ වෙසක් යන මාසවලට යෙදෙන්නේ වසන්ත ඍතුව නිසා ද පරිසරයේ යම් කිසි උත්සවශ්‍රීයක් ඇති බව නිතැතින්ම පෙන්නුම් කරයි.

නගරයටත් වඩා ගමක, නිවෙස්වල සාමුහිකත්වය, බැඳීම, ළබැඳියාව සමඟ එක්වන ඒ සැණකෙළි ස්වභාවය නිසා බක් මහ නොයෙක් දෑ ලැබෙන වාසනාවන්ත මාසය ලෙස පිළිගැනේ. මේ නොයක් දෑ අතර කැපී පෙනෙන්නේ අස්වැන්නයි. ඒ සමඟම අලුත් ඇඳුම්, නිවාස අලුත් වැඩියාව වැනි නව්‍යතාවට අයත් දෑ ද බැඳී පවතී.

නිරීක්‍ෂ රේඛාවෙන් අංශක 7 ක් උතුරින් පිහිටන ලංකාවට ඉර මුදුන් ව උත්තරායනය දෙසට ගමන් කරද්දී මෙරට බොහෝ පෙදෙස්වලට ඍජු ව ම නැගෙනහිරින් ඉර පායා හිස මුදුනින් ගමන් කොට බටහිරින් බැස යයි. මේ කාලයට මධ්‍යහ්නයේ සෙවණැල්ලක් නැතැයි කතාවක් ද තිබේ.

එතරම් අවධානයක් සූර්යයා හට ලැබෙන බැවින් මේ උත්සවය සූර්ය මංගල්‍යය ලෙස ද නම් කරයි. හිරු මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරන අවස්ථාවේ නැකැත් මෙන්ම නොනගතය ද උදා වේ. නැකැතක් නොමැති නොනගතයේ දී කිසිදු කටයුත්තක නොයෙදී පන්සල් ආදී ආගමික ස්ථානවල පුණ්‍ය කටයුතුවල යෙදුණද නැකැත්වලට සියලු කටයුතු කිරීමට අපි පුරුදුව සිටිමු.

මේ සම්ප්‍රදායය දිගු කලක් තිස්සේ පැවතුන ද නිසි ලෙස නීති රීති සමඟ පළමුවැනිව සටහන් කර ඇත්තේ 15 වැනි සියවසේ ජයවර්ධනපුර විසූ VI වැනි පරාක්‍රමබාහු රජුගේ මෑණියන් වන සුනේත්‍රා දේවියගේ නමින් පැපිලියානේ ඉදිකළ පිරිවෙනේ ඇති සෙල්ලිපියක ය. එහි මුහුද දක්වා වූ ඉඩම්වල ආදායම නිසි ලෙස පරිහරණය කිරීම ගැන මෙන්ම මාතෘ පූජාව, සහල් පූජාව, අවුරුදු පූජාව හා මෛත්‍රි බෝධි සත්ත්ව පූජාව පිළිබඳ සටහනක් වේ. කෝට්ටේ යුගයේ ඒ සෙල්ලිපියට අනුව බුලත්, සහල්, පුවක්, රෙදි ආදිය පූජාවට ලබා දිය යුතුව තිබී ඇත.

මේ අනුව බලන කල කෘෂිකර්මය මුල් කර ගත් ආසියානු රටවල නිවෙස්වලට අලුත් සහල් ගෙන ඒමේදී මෙන් ම අලුත් බත තෑගී දීමේ උත්සවයක් ලෙස මූලික ව ම මිනිසාගේ පැවැත්මට හේතුවන හිරුගේ බලපෑම සහිත මේ උත්සවය පවත්වයි. මෙය දකුණු හා නැඟෙනහිර ආසියානු රටවල මෙන් ම අග්නිදිග ආසියානු රටවල ද කැපී පෙනේ.

ඉන්දියාව, චීනය, ජපානය, කොරියාව, බුරුමය, තායිලන්තය, ජාවා, සුමත්‍රා, බොර්නියෝ, ඉන්දුනීසියාව වැනි රටවල පවා අලුත් අවුරුද්දට වැඩි අවධානයක් ඇති බව පෙනෙන කරුණකි. ඒ හැම රටකම පාහේ දක්නට ඇති තවත් සුවිශේෂ ලක්‍ෂණයක් වන්නේ යම් කාලයකදී සෙන් බුදු දහම හොඳින් ප්‍රචලිත වූ රටවල් ලෙස මේවා දැකිය හැකි වීමයි.

වෙසෙසින්ම චීනය, ඉන්දියාව වැනි රටවල් ඉර මුදුන්වන දිනය පිළිබඳ බොහෝ අවධානයෙන් සිට මෙසේ අවුරුදු සමරන බවට සාක්‍ෂ්‍ය ඕනැතරම් ය. බෞද්ධ රටක් වූ චීනයේ ද අප රටේ මෙන්ම අලුත් සහල් මංගල්‍යයක් වැනි වූ උත්සවයක් විහාරස්ථාන ආශි‍්‍රත ව පවත්වයි. බුද්ධ දේශනාවේ අඩංගු දහම් පිළිපදිමින් වැඩිහිටියන්ට, දෙමාපියන්ට ගරු කිරීම වැනි ලක්‍ෂණ ඒ රටවල අවුරුදු චාරිත්‍රවලදීද දැකිය හැකිය.

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ අලුත් අවුරුදු උත්සවය පවත්වන්නේ අප්‍රේල් මාසයේ ය. ඔවුන්ගේ මාස ක්‍රමය අනුව අප්‍රේල් 14 ට එළැඹෙන්නේ තමිල්මාස ක්‍රමයේ පළමු වැනි දවසයි. ගෘහණියන් කෝලම් නම් වූ මෝස්තර යොදමින් අඳුර දුරු කර ආලෝකය ලැබේවා යැයි පතන්නේ අලුත් අවුරුද්දට ය. ඉන්දියාවේ ද කෘෂිකර්මය මූලික කරගත් උත්සවයක් ලෙස මෙය සැලකෙන බවට හේතු සාධක බොහෝ වෙයි. සිදුහත් කුමාර කථාවේ පවා වප් මඟුල් දවස ගැන කියැවෙන අතර වප් මස යනු වපුරන මාසය යන්නයි. වප් මඟුල් යනු වැපිරීමේ මංගල්‍යය ලෙස සැලකිය හැක්කේ එබැවිනි.

උතුරු, මධ්‍යම හා දකුණු ඉන්දියානු සංස්කෘතිවල දුෂ්ට බලපෑම්වලින් මිදීම සඳහා ඊෂ්වර මහේෂ්වර දේවාලවලට ගොස් පොල් ගැසීමට පවා ඔවුහු අමතක නොකරති. තාරකාවල බලපෑම හෙවත් නක්‍ෂත්‍ර විද්‍යාව කෙරෙහි බොහෝ දැනුමැති ඉන්දියානුවෝ නැකැත් පිළිබඳ ව අවුරුදු දිනවලදී උනන්දුව දක්වති.

එසේ වුවද අවුරුදු උත්සව පවත්වන ජාවා සුමාත්‍රා වැනි රටවල නැකත පිළිබඳ විශ්වාස කෙරෙන බවක් නොපෙනෙයි. පෙර යුගවල බෞද්ධ දර්ශනය තිබුණු රටවල් වුවද මුස්ලිම් හා වෙනත් ආක්‍රමණ නිසා වෙනස් වූ ඔවුන් යහපත් වේලාවක් ඇති බව පොදුවේ පිළිගන්නා කරුණකි.

පුරාණ සංස්කෘති බිහි කිරීමට සමත් වූ ආසියාවේ ඓතිහාසික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් අතර ක්‍රිස්තු පූර්ව ශතවර්ෂවල මධ්‍යධරණී මුහුද ඔස්සේ බෞද්ධ සංස්කෘතිය පැතිරී ගිය බවද රහසක් නොවේ. නමුත් ඇමරිකාව වැනි රටවල ශිෂ්ටාචාරය විහිදෙන්නේ 16 වැනි සියවස දක්වා පමණි. එසේ වුව ද කෙටිකාලයක් තුළ ඇමරිකානු මතවාද හා සංස්කෘතික බලපෑම නිසා ආසියානු රටවල අවුරුදු සිරිත්වලට පවා යම් බලපෑමක් ඇති වූ බව නම් කිව යුතුම ය.

එසේ බලපෑම් එල්ල වුවද අපේ අවුරුදු සිරිත්වල මෙන් ම විවිධ චාරිත්‍රවාරිත්‍රවල සමානකම් අදටත් රට රටවල දක්නට ලැබේ. විශේෂයෙන්ම බෞද්ධ සම්ප්‍රදායය අපෙන් ලබාගත් රටවල එනම් 9 වැනි සියවසේදී ජපානය, 12 වැනි සියවසේදී සියම, කොරියාව, ජාවා, කාම්බෝජය වැනි රටවල අදටත් උපසම්පදා කරන්නේ සිංහල නිකාය සිංහල ශාසනය ආදී වශයෙන් නම් කරමිනි. බුදු දහම මෙන්ම සූර්යයාගේ බලපෑම පවතින දකුණු ආසියානු රටවල සප්ත අපරිහානී ධර්මවල එන එකට රැස්වීමේ සිට එකට විසිර යෑම දක්වා වූ කරුණු ද අවුරුදු චාරිත්‍රවල දක්නට ලැබීම සමාන සංස්කෘතික ලක්‍ෂණ පෙන්නුම් කිරීමෙහිලා වැදගත් වේ.

තායිලන්තය හෙවත් සියමේ අවුරුදු උත්සවය බැදෙන්නේ දියකෙළිය සමඟිනි. සූර්යයා මුදුන් වනවාත් සමඟම ඇතිවන අව් සැරට ඔරොත්තු දීම සඳහා එකිනෙකාට ජලය විසි කිරීමට ඔවුන් පුරුදුව ඇත. එසේ දිය පහරක් ලබන කිසිවකුටත් කේන්ති යන්නේද නැත. සනාම් ලුවාන්නම් රාජ උද්‍යානය ප්‍රධාන කොටගෙන කෙරෙන මේ දිය කෙළිය සඳහා කැවිලි පෙවිලි සකස් කිරීම ද උත්සවශ්‍රීය වැඩි කිරීමට හේතු වෙයි. ඔවුන් මෙය සමරන්නේ වියළි කලාපයේ අවසානය සනිටුහන් කරමිනි.

සකුරා මල් පිපෙන කාලයට ජපානයේ හනමස්සුරි නම් පුෂ්පෝත්සවය පවත්වන්නේ ද අලෝක පූජා පවත්වන්නේ ද සූර්යයා සංකේතවත් කරමිනි.

අවුරුද්දට විශේෂ කෑම පිඟානක් ගැනීම ජපනුන්ගේ සිරිතකි. එය අපේ කැවිලිවලට වඩා වෙනස් වුවද ආහාරයට මුල් තැනක් ලැබීම ඉන් සංකේතවත් කරයි. එසේම දරුවන්ට මුදලක් තෑගි දීම ද අපේ ගනුදෙනුවලට සමාන සිරිතක් සේ පෙනේ.

චීනයේ වසන්ත උත්සවය සමරන්නේ ඔවුන්ගේ ම සාම්ප්‍රදායික ඍතු මැනීමේ ක්‍රමයට අනුව ය. සතුට, නිරෝගී බව, දීර්ඝායුෂ පතන සැරසිලිවලින් නිවෙස් අලංකාර කරමින් ඔවුන් අලුත් අවුරුද්ද සමරන්නේ චන්ද්‍රමාස ක්‍රමයට අනුවයි.

කාම්බෝජයේ අප්‍රේල් 13, 14 යෙදෙන්නේ අස්වැන්න නෙළා අවසන්වන කාලයට ය. ඔවුන් ඒ සතුට භුක්ති විඳින්නේ තම මහන්සියේ ඵලදාව සතුටින් අනුභව කරමිනි.

ලාඕස වැසියෝ ද සුවඳ පැනින් හා සුවඳ මලින් සැරසී ඔවුන්ගේ අලුත් අවුරුද්ද සමරති. බුදු පිළිම වටා මල් සැරසීම, පන්සල් බිම වැලි ඇතිරීම, සතුන් මරණින් බේරා නිදහස් කරමින් අලුත් අවුරුද්ද සැමරීම ඔවුන්ගේ සතුටයි.

මලයාසියාව ද සිංහ නැටුම් ආදිය රඟමින් ඔවුන්ගේ අලුත් අවුරුද්ද සමරන අතර සෞභාග්‍යයේ ආහාර ගැනීම ඔවුන්ගේ සිරිතයි.

වෙන් වෙන් වශයෙන් සැමරුව ද ගෙවල් පිරිසිදු කිරීම, අලුත් ඇඳුම් ඇඳීම, බුලත් දීම, කාසි දීම, ආචාර කිරීම, නෑගම් යෑම, එකට ආහාර ගැනීම වැනි ලක්‍ෂණ අලුත් අවුරුද්දේ පොදු සිරිත්වලට හොඳ ම නිදසුන් ය. අපේ රටේ මෙන් ම චීනයෙන් සියමට පැමිණි සිරිතක් ලෙස අලුත් අවුරුද්දට අලුත් ලිපක් තනා අලුත් බතක් පිසීම සැලකිය හැකිය.

අවුරුද්දක ප්‍රධාන බලාපොරොත්තුව දියුණුව, සෞභාග්‍යය, සමෘද්ධිය, සාමුහිකත්වය, නිරෝගී බව ආදී කරුණු වේ. ඒ සඳහා අපරිහානි ධර්මවල යෙදීම බෙහෙවින් වැදගත් ය. පරණ අවුරුද්දේ සිට අලුත් අවුරුද්ද ලැබීම දක්වා කාලය තුළ මෙන් ම ලැබුවා වූ නව වසර සුබ වසරක් කර ගැනීමට වැදගත් වන සිරිත් අපේ රටේ මෙන් ම ආසියාතික ඇතැම් රටවල පවතී. අවුරුද්දෙන් පසු එළැඹෙන මාසේ පෝයට කෝඳුරුවන්ට ‘කිරියා’ සදා දී අමාවකේ වුවද ආලෝකය ලබන්නට පහන් වැල් දැල්වීම අපේ සිරිතකි. එසේම අන් රටවල ද නව සඳ බැලීම කෙරෙහි අවධානය යොමුව ඇත්තේ අලුත් අවුරුද්දෙන් පසු එළැඹෙන පසළොස්වක ඉතා වැදගත් සේ සැලකෙන නිසා ය. සඳ නැඟ එන්නාසේ ඒ වසරේ දියුණුව පැතීම එහි අරමුණයි.

සිරි සඳවන් සව් සිරි දියුණුව රඳන
සිතුමිණ වන් යැදි යැදි හට දනින් දෙන
සරසවිවන් නුවණින් පහළව පෙනෙන
නව සඳවන් ලෙව් වැසි අදරින් වඳන

සංලාපය – අරුණි මුතුමලී