අලුත් අවුරුද්ද කියන්නේ ස්වභාවධර්මයේ සෞභාග්යෙයයි

  • Sharebar

මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස

සිංහල අලුත් අවුරුද්ද ජ්‍යෝතිෂය පදනම් කරගත් නැකැත් උළෙලක් පමණක්ද? නැතිනම් එය ඊට වඩා මූලාශ්‍ර සහිත වූවක් ද?

මෙහි මූලික ම දේ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමයි. භාරතීය විශ්වාසයට අනුව අවුරුද්ද අවසාන වන්නේ අප්‍රේල් 13 වැනිදා. එතැන ජ්‍යෝතිෂමය කරුණට වඩා ඉස්මතු වී තිබෙන්නේ තමන්ගේ ජාතික අනන්‍යතාව ප්‍රකාශ කරන අවස්ථාවක් හැටියට. පවුලේ බැඳීම් ශක්තිමත් කරගන්නා අවස්ථාවක් හැටියටත් ගත හැකියි.

අවුරුදු චාරිත්‍ර කියලා බොහෝ දෙනෙක් කරන්නේ දහතුන් වැනිදා හෝ දහ හතර වැනිදා තියෙන චාරිත්‍ර පමණයි. නව සඳ බැලීම, හිසතෙල් ගෑම, රැකී රක්‍ෂා සඳහා පිටත්වීම වගේ ඒවා කරන්නේ නැහැ. ඒවා බොහෝදුරට වැටෙන්නේ සතියේ දවස්වලනේ.

සිංහල අලුත් අවුරුද්ද හින්දු ආගමේ හා සංස්කෘතියේ බලපෑමෙන් ඇති වූවක් බව මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්නයන් පවසා තිබෙනවා. මේ මතවාදය පිළිබඳ ඔබ කුමන අදහසක් ද දරන්නේ?

මම නම් මේක හින්දු බලපෑමෙන් ආවා කියලා කියන්නෙ නැහැ. අපි සමස්ත භාරතීය සංස්කෘතිය ඇතුළත ජීවත් වෙන අය. ඒක ඇතුළෙ මෙය සිංහල, මෙය හින්දු කියලා වෙන් කරන්න බැහැ. එහෙම තර්ක කළොත් බුද්ධාගමත් හින්දු එකක් වෙනවා. සමහර හින්දු භක්තිකයෝ විශ්වාස කරනවා බුදුන් වහන්සේ විෂ්ණුගෙ අවතාරයක් කියලා. මෙම සමස්ත සංස්කෘතිය ඇතුළේ සිටින සියල්ලන්ට ම පොදු දෙයක්. මෙය ජාතික උත්සවයක්.

එසේ නම් සිංහල අවුරුද්ද පිළිබඳ ඉතිහාසය සම්බන්‍ධයෙන් ඔබ කවර මතයක් ද දරන්නේ?

මහාවංශයේ වෙසක් මංගල්‍යය ගැන යම් යම් සඳහන් කිරීම් තිබෙනවා. නමුත් අවුරුදු උත්සව පැවැත්වූවා කියලා විශේෂ සඳහනක් එහි නැහැ. අලුත් අවුරුද්ද කියන සංකල්පය බිහිවුණේ 20 වැනි සියවසේ මුල් භාගයේ. 19 වැනි සියවසේ අග භාගයේ ජාතික පුනර්ජීවනයක් සහ බෞද්ධ පුනර්ජීවනයක් ඇතිවීමත් සමඟ සිංහලකම පිළිබඳ විශේෂ අවධානයක් ඇතිවුණා. ඒ සිංහල බෞද්ධ පුනර්ජීවනයෙන් ඇතිවුණු එක්තරා ප්‍රතිඵලයක් තමයි අපේ අනන්‍යතාව ප්‍රකාශ කරන අවස්ථාවක් අපි ඇතිකර ගත යුතුය යන අදහස ගොඩනැඟීම.

සිංහල පුවත්පත් කලා ඉතිහාසය කෘතියේ ජාතික උත්සවය එහෙමත් නැතිනම් සිංහල අවුරුදු උත්සවය පිළිබඳ විශාලතම උද්‍යෝගයක් 1915 ඇතිවුණු බව සඳහන් වෙනවා. 1815 අපේ රට යටත් විජිතයක් බවට පත්වීමෙන් අනතුරුව 1915 වර්ෂය උදාවන්නේ එහි ශත සංවත්සරය ලෙසින්. මේ අවස්ථාවේ දිනමිණ පත්‍රයක 1915 මාර්තු 02 වැනිදා විශේෂ අතිරේකයක් පළකොට තිබෙනවා. වර්ණ ඡායාරූප සහිත අතිරේකයක් පළ කළ මුල් ම අවස්ථාව මෙයයි. මෙහි සිංහල කොඩි දෙකක් පළ වුණා.

සිංහල කොඩිය සොයා ගත්තේ ඊ.ඩබ්. පෙරේරා. ඊ.ඩබ්. පෙරේරා ලන්ඩනයට ගිහින් සොයා ගත්තා අපේ සිංහල අන්තිම රජතුමාගේ කොඩිය. එය පදනම් කරගෙනයි අපේ ජාතික කොඩිය නිර්මාණය කළේ. එය ජාතික කොඩිය හැටියට සම්මත කරගත්තේ 1948 – 49 වකවානුවේ ඩී.එස්. සේනානායක ප්‍රමුඛ පිරිසයි. 1815 යටත් විජිත ගිවිසුම් පත්‍රයත් දිනමිණ පත්‍රයේ පළ වුණා. ජාතික අනන්‍යතාවයට වැදගත් කරුණු කිහිපයක් මේ විදියට මේ දිනවල පළ වුණා. එමඟින් පොදු හැඟීම වර්ධනය වුණා. එතකොට මේ තොරතුරු පළ වෙන්නේ හා 1915 වර්ෂයේ ජාතික ප්‍රබෝධය ඇති වන්නේ මාර්තු මාසයේ. ඉන් අනතුරුව උදාවෙන මාසය වන්නේ අප්‍රේල් මාසයයි.

ඉතින් ඒ කාලේ ජනප්‍රධානීන්ගේ විශේෂ අවධානයක් යොමු වුණා ජාතික උළෙලක් පැවැත්වීම පිළිබඳ ව. ජාති කුල භේදයන්ගෙන් තොර ශ්‍රී ලාංකේය උළෙලක් ගැන එනම් ජාතික උළෙලක් ගැනයි එහිදී අවධානය යොමු වුණේ. මේ කාලයේ ආගම් බේද බොහොමයක් ඇති වුණා. 1915 විශේෂ උත්සවයක් මේ අනුව සංවිධානය කළා. එය විශේෂ කාර්යභාරයක් ඉටු කළා සිංහල තරුණ සමිති සම්බන්ධයෙන්. සිංහල තරුණ සංගමයේ ලේකම් වුණේ ඊ.ඒ. අබේසේකර මහත්තයා. ‘සිංහල තරුණයා’ කියලා සඟරාවක් ඒ කාලේ ඔහු පළ කරලා තියෙනවා.

මේ ජාතික උත්සවය සංවිධානය කරන්නේ ඔහු. ඒ කාලේ එහි ප්‍රධාන අමුත්තා වුණේ ශ්‍රීමත් පෝල් ඊ. පීරිස්. ඔහු කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබා ඇවිත් ලංකාවේ විනිශ්චයකාර ධුරයකට බ්‍රිතාන්‍ය රජය විසින් පත්කරන ලද ශ්‍රී ලාංකිකයෙක්.

1915 කෝලාහලය පිළිබඳ නඩු විභාගයේදී ඔහු අපක්‍ෂපාතී ලෙස තීරණ දීම සම්බන්ධයෙන් බොහොම කීර්තියට පත් වුණා. මේ උත්සවය තමයි අපට මෑත කාලයේ අසන්නට ලැබෙන ප්‍රථම වැදගත් ම උත්සවය. දොස්තර සී.ඒ. හේවාවිතාරණ, ඩී.එස්. සේනානායක, එෆ්.ආර්. සේනානායක, ජෝන් ද සිල්වා, දොස්තර විල්මට් ඒ. ද සිල්වා, ශ්‍රීමත් ඩී.බී. ජයතිලක වැනි අය තමයි මේ උත්සවයට එකතු වෙලා කටයුතු කොට තිබෙන්නේ. එහි විකාශනයක් තමයි සිංහල අවුරුද්ද.

ඒ කාලේ තිබුණු තව වැදගත් සඟරාවක් වූයේ 1915 අප්‍රේල් මාසයේ ආරම්භ කළ ‘සිංහල අවුරුදු සඟරාව‘. ඊට පස්සේ ‘ලක්මිණ’ පුවත්පතෙත් මේ ජාතික උත්සවය පිළිබඳ සඳහන් වූවා. සමාජයේ මෙවැනි උද්‍යෝගයක් ඇති කිරීමට ජනමාධ්‍යයෙන් ඉටු කළ මෙහෙයයි මෙයින් පෙනෙන්නේ. මේ ජාතික උත්සවය අවුරුදු උත්සවයක් බවට පත් වෙන්නේ ජනමාධ්‍ය හරහා ඊට ලැබෙන පුළුල් ප්‍රචාරණයක් හේතුකොට ගෙනයි.

අලුත් සහල් මංගල්ලය, අවුරුදු පූජාව ආදිය ගැන සුනේත්‍රා දේවියගේ නමින් ඉඳිකළ පැපිලියානේ පිරිවෙනේ තිබෙන 15 වැනි සියවසේ ඉඳිකළ සෙල්ලිපියේ සඳහන් වෙනවා. ඒ ඉතිහාසගත සාක්‍ෂියත්, ඔබේ නිගමනයත් පරස්පර නොවේද?

කෘෂිකාර්මික සමාජවල වැදගත් ම කාරණයක් තමයි අස්වැන්න නෙළා ගැනීම. මුල හොයා ගන්න ගියොත් කෘෂිකාර්මික පදනම ආදිය මීට බලපාන්න ඇති කියන එක මමත් පිළිගන්නවා. අස්වැන්නෙන් අග්‍ර කොටස පන්සලට පූජා කරනවා. ඒවා පාරම්පරික සමාජවල තිබෙන චාරිත්‍ර. ඇත්තටම ඒවා සශ්‍රීකත්වයේ අග්‍රඵලය ආගම සඳහා පූජා කොට එය උත්සවශ්‍රීයෙන් සැමරීමක් වශයෙන් දක්වන්න පුළුවන්.

සිංහල අලුත් අවුරුද්දේ ආගමික පසුබිම ගොඩනැඟෙන්නේ ඒ අයුරින් කියා ද ඔබ සිතන්නේ.

ඡ්‍යෝතිෂය අනුව වුණත් බලද්දි අලුත් අවුරුද්දට ආගමික පසුබිමක් තියෙනවා. නොනගතය කියන්නේ නැකතක් නැති කාලය කියන එක. පරණ අවුරුද්ද ඉවරවෙලා අලුත් අවුරුද්ද පටන් ගන්නේ මේ වෙලාවට. ඒ කාලයේදී පුණ්‍ය කටයුතුවල යෙදීම හොඳයි කියලයි දැක්වෙන්නේ. ඒ විශ්වාසයට පදනම් වෙන්නේ ආගමික පසුබිමයි. අපේ රටේ විතරක් නොවෙයි වෙන රටවලත් අවුරුදු උදාව කියන්නේ ආගමික පසුබිමක් තියෙන කාර්යයක්.

සිංහල අලුත් අවුරුද්දේ පවතින සංස්කෘතිකමය වටිනාකම ඔබ විග්‍රහ කරන්නේ කෙසේ ද?

1915 තිබුණු ජාතික උත්සවයේ වැදගත් ම කරුණක් වන්නේ බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු ආදී සියලු ආගම් එක් වී එය සැමරීමයි. සිංහල අවුරුද්ද පිළිබඳ අදහස වැනි දේවල් සමාජයකට අවශ්‍යයයි. විවිධ වෘත්තීන්වල නිතර විවිධ තැන්වල සේවය කරන පවුලේ අය එක තැනකට එක්වෙලා විනෝදවෙලා, කිසියම් අන්දමක විවේකයක් ලැබීමට මේවා ඉවහල් වෙනවා. සංස්කෘතිකමය වශයෙන් එහි ඇති වැදගත්කම එයයි.

අපේ සාම්ප්‍රදායික ජනවිඥානය අලුත් අවුරුද්දෙන් ප්‍රකාශයට පත් වෙනවද?

මෙහි ඇති සාධනීය පැත්ත එයයි. අපේ හැම උත්සවයක ම මේ සාම්ප්‍රදායික හර පද්ධතීන් ක්‍රියාත්මක තලයේ තිබෙන බව පෙන්නුම් කරනවා. ජනමාධ්‍ය මේ සඳහා විශාල මෙහෙවරක් කරනවා. අපේ කුඩා කාලයේ පුවත්පත් හා ගුවන්විදුලිය පමණයි තිබුණේ. මට මතකයි ඒ කාලේ පවා මාධ්‍ය මඟින් විවිධ පළාත්වල අවුරුදු චාරිත්‍ර පැවැත්වෙන හැටි, ඒවායේ තියෙන විෂමතා ආදිය ගැන කතා කළා. අවුරුදු චාරිත්‍ර විශ්වාස නොකරන අයට පවා මාධ්‍ය මඟින් ගෙන ගිය මේ වැඩපිළිවෙළ නිසා අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමේ පෙලඹවීමක් ඇති වුණා. එය සාධනීය ප්‍රතිඵලයක්.

ජනමාධ්‍ය මඟින් නිරූපිත අවුරුද්ද හා අපේ සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද එකක් වශයෙන් ද ඔබ දකින්නේ?

ඔය දෙක අතරේ පරතරයක් තියෙන්න පුළුවන්. ජනමාධ්‍ය වලින් කියන විදියට ම මේවා නොකෙරෙන්නත් ඉඩ තියෙනවා. නමුත් පරමාදර්ශයක් ම බලාපොරොත්තු වෙන්න බැහැ. ජනමාධ්‍ය මඟින් අවුරුදු පිළිබඳ ව කරන කියන දේවල් මම විවේචනය කරන්නේ නැහැ. සමහර චාරිත්‍ර අපි අනුගමනය නොකරනවා වෙන්න පුළුවන්. නව සඳ බැලීම, රැකී රක්‍ෂා සඳහා පිටත්ව යාම ආදි වශයෙන්. නමුත් මාධ්‍ය මඟින් මේවා අඩුම වශයෙන් කියනවානේ. අපේ විඥානයේ මෙවැනි චාරිත්‍ර වාරිත්‍ර තිබීමයි වැදගත්.

අලුත් අවුරුද්දේ පවතින ජීව විද්‍යාත්මක පසුබිම හා චාරිත්‍ර වාරිත්‍ර ඉටුකිරීමේ හා ඒවා නිර්මාණය වීමේ විද්‍යාත්මක පසුබිම පිළිබඳ ඔබ කවර මතයක් ද දරන්නේ?

ස්වභාවධර්මය හා අපේ සමාජය අතර තියුණු බැඳීමක් තියෙනවා. හුඟාක් සමාජවල මේ බැඳීම මුල්කර ගෙන ජාතික උත්සව පැවැත්වෙනවා. බොහෝ විට අපේ රටේ නැති විදියේ ඍතු වෙනස්වීමක් යුරෝපීය රටවල තිබෙනවා. ඒ ඍතු බේදය හා සමඟ මිනිසුන්ගේ චර්යාවන් හා ක්‍රියාදාමයන් වෙනස් වෙනවා. එහෙම පැහැදිලි ඍතු වෙනස්වීමක් නොමැති වුණත් මේ කාලය අපට භවබෝග, අස්වැන්න ලැබීම සිදුවන කාලය. ස්වභාව ධර්මයේ ක්‍රියාකාරීත්වයෙන් ගොවිතැනේ අස්වැන්න ලැබෙන්නේ මේ කාලයේ. වී ගෙට අරගෙන බුදුන්ට, දෙවියන්ට පූජා කරලා මුලින් ම අපේ පරිභෝජනයට ගැනීම සිදුවන්නේ මේ කාලයේ. අපේ අවුරුදු උත්සවයේ පිළිබිඹු වන්නේ එයයි.

මේ කාලයට මල් පිපෙනවා. අවුරුද්දෙම මැරිලා තිබුණ ග්‍රැමෆෝන් ගස්වල මල් අපේ මිදුල පුරා පිපෙනවා. මේ තමයි ස්වභාවධර්මයේ සෞභාග්‍ය. මේ සියල්ලෙන් අපි සතුටු වෙනවා. ඒක තමයි අවුරුද්ද.

අලුත් අවුරුද්ද හා වෙළෙඳපොළ යාන්ත්‍රණය අතර කවර සම්බන්ධයක් ද පවතින්නේ?

ඔබ මතු කරන කාලය බිහිවුණේ බොහෝම මෑත. අද කැවුම් කොකිස් කඩෙන් මිලදී ගන්න පුළුවන්. අපි කුඩා කාලයේ එවැනි තත්ත්වයක් තිබුණේ නැහැ. කැවිලි හැදුවේ ගෙදර. මේකට බලපෑම් කරන්නේ එදා ජන ජීවිතයට වඩා අද ජන ජීවිතය සංකීර්ණ වීම වෙන්න පුළුවන්. අද සමාජයට ගැළැපෙන විදියට වෙළෙඳපොළත් නිර්මාණය වෙලා තියෙනවා.

අද අපිට කැවුම් කොකිස් ගන්න ඒවා වෙනුවෙන් ම වෙන් වෙලා තියෙන කඩවීදි තියෙනවා. අපි ගෙදර හදන්න කරදර වෙන්න ඕන නැහැ. බොහෝ දුරට මේවා ගෙදර හදන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. ඉල්ලුමට සැපයුම තීරණය වෙලා. කාලෙන් කාලෙට වෙනස් වෙන්න ඕන නේ. ඒක නරක දෙයක් නොවෙයි. මට ඒ ගැන ලොකු ගැටලුවක් හෝ විවේචනයක් නැහැ. අපිට මේක සංස්කෘතිකමය වශයෙන් වැදගත් වගේ ම වෙළෙඳ ප්‍රජාවට මේ කාලය ඉතා සරු කාලයක්.

වෙළෙඳපොළ යාන්ත්‍රණයේ ක්‍රියාත්මක වීම අනුව නම් සල්ලි තියෙන අයට පමණයි අවුරුදු සමරන්න වෙන්නේ. සංස්කෘතිකමය වටිනාකම් වෙළෙඳපොළ විසින් ගිල ගැනීම ගැටලුවක් නොවේද?

ඕක අදට විතරක් තියෙන දෙයක් නොවෙයිනේ. නැතිබැරි මිනිස්සු කවදත් හිටියා. මේ පරතරය සමාජයේ කවදත් බරපතළ ගැටලුවක් විදියට තිබුණා. සමහර විට එදාට වඩා අද තදේට දැනෙනවා වෙන්න පුළුවන්. ඒක තමයි යථාර්ථය. පූර්ණ සමාජවාදී සමාජ ලෝකේ කොහේවත් නැහැනේ. ඒවා පරමාර්දර්ශ විදියට අපේ හිත්වල තියෙනවා.

මේ සියලු කාරණා හමුවේ ගෝලීකරණ ප්‍රවේශයට අනුව අලුත් අවුරුද්දට අනාගත පැවැත්මක් තිබේද?

ගෝලීකරණය ගැන හැමෝම කතා කළාට ලෝකය එක සංස්කෘතියක් වේවි කියලා මම නම් හිතන්නේ නැහැ.

වෙනස් අනන්‍යතා තිබීම නිසා එය සිදුවෙයි කියලා මට විශ්වාස නැහැ. මිනිසුන්ගේ සංස්කෘතිකමය වෙනස්කම්, බෙදීම් වැනි දේවල් නැති කරන්න බැහැ. ඒ නිසා අවුරුද්ද ඒ විදියට තියේවි.

සංලාපය - සුමුදු චතුරාණි ජයවර්ධන

සේයාරුව - දුෂ්මන්ත මායාදුන්නේ